Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂි අවසන් පූර්ව වටයට

තරුෂි අවසන් පූර්ව වටයට

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මීටර 800 (කාන්තා) ඉසව්වේ මූලික තරගය විනාඩි 2 තත්ත්පර 10.70කට නිමා කරමින් කෙන්යාවේ නයිරෝබි නුවරදී දැන් පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලියේ හෙට (20) පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය. එසේ වුවත් මෙම ඉසව්වේදිම ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා ශානිකා ලක්ෂාණි කහවලගේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූයේ විනාඩි 2 තත්ත්පර 20.37කට මූලික තරගය නිමා කිරීමෙනි. 

දෙවැනි මූලික වටයේ තරග වැදුණු තරුෂි තවමත් 16 හැවිරිදි වියේ පසුවන, වලල ඒ. රත්නායක මැදි විදුහලේ ඉගෙනුම ලබන ළබාල ක්‍රීඩිකාවකි. ඇය මූලික වටයේ තරගයේ තෙවැනි ස්ථානයට පත්වූවාය. තරුෂි ලෝක කනිෂ්ඨ ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තේ පසුගිය මැයි 21 වැනිදා සුගතදාස පිටියේදී පැවැති තේරීම් තරගාවලියේදී විනාඩි 2 තත්පර 07.21ක කාලයක් වාර්තා කරමිනි. එය ඇගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්ෂතාවයි.

මේ අතර පළමු මූලික වටයේදී තරග කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකා ශානිකා ලක්ෂාණි කහවලගේ විනාඩි 2 තත්පර 20.37කට පස් වැනි ස්ථානයට තරගය නිමා කළාය. එහිදී එහි සිව්වැනි ස්ථානයට පැමිණියා නම් ඇයටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව තිබිණ. 

එහි සිව්වැනි ස්ථානයට පත් ස්ලොවේකියානු ක්‍රීඩිකා ෂෙට්සා කොලෝජෙස්නික් තත්පරයෙන් දශම 26ක වෙනසකින් (විනාඩි 2 තත්පර 09.11) ශානිකා අභිබවා අවසන් පූර්ව වටයට ප්‍රවේශ වූයේ හොඳම වේගය රඳවා ගත් ක්‍රීඩිකාවන් අතරේ සිටිමිනි.

සුගතදාස පිටියේදී ඇය කෙන්යානු ලෝක ශූරතාවලියට වරම් හිමිකර ගත්තේ පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවැති තේරීම් තරගාවලියේදී විනාඩි 2 තත්පර 07.02ක ඇගේ මෙතෙක් හොඳම ඉසව්වේ වේගය රඳවා ගනිමිනි.

අවසන් පූර්ව වටයේ සමස්ත ප්‍රතිඵල අනුව මෙම ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවන් අතරින් තරුෂි 17 වැනි ස්ථානයේද ශානිකා 22 වැනි ස්ථානයේද පසුවෙති. 

එකම ඉසව්වකින් මෙවර ලෝක කනිෂ්ඨ ශූරතා  තරගාවලියට ක්‍රීඩිකාවන් දෙදෙනකුට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගැනීම කැපී පෙනිණ.  තරග කාලයන්ට අනුව ඉතියෝපියාවේ අපජුල් ඩැග්නාඩෙබ් විනාඩි 2 තත්ත්පර 02.94කට සිය මෙතෙක් ඉසව්වේ හොඳම කාලය වාර්තා කරමින් මෙම ඉසව්වේ පදක්කමක් කෙරෙහි වඩාත්ම විශ්වාසය පළ කරමින් සිටින ක්‍රීඩිකාවක් බවට ඊයේ වනවිට පත්ව සිටියාය.

කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට සීමාවුණු අතර සිකුරාදා (20) දිනයේදී තරග වදින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ මීටර 200 (කාන්තා) ඉසව්වට නිර්දේශ වී සිටින මේධානි ජයමාන්නයි. ඇය හෙට පෙරවරුවේදී පැවැත්වෙන එහි මූලික තරග වටයේදී අවශ්‍ය සුදුසුකම් ලබාගතහොත් හෙට පස්වරුවේදීම එහි අවසන් පූර්ව වටය සඳහාත්  සහභාගි වනු ඇත.

ඊයේ පස්වරුවේ පදක්කම් සටහන දැක්වුණේ ඉතියෝපියාව එක් රන්පදක්කමක් හා එක් රිදීපදක්කමක් ලැබීමෙනි. ඒ වනවිට නයිජීරියාව, දකුණු අප්‍රිකාවද, එක් රන් පදක්කමක් බැගින් දිනා තිබුණි. 

පදක්කමක් දිනා ගත් රටවල් අතර ඉන්දියාව මිශ්‍ර සහය ඉසව්වෙන් (මීටර 400 x 4) ලෝකඩ පදක්කමක් ලැබීමෙන් පදක්කම් දිනාගත් රටවල් හත අතරට එක්ව තිබුණි. ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් අනිද්දා (22) නිමාවට පත්වන මෙම ලෝක ශූරතා තරගාවලියට සහභාගිව සිටියි. 


අදහස් (0)

තරුෂි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.