Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
2025 වසරට නියමිත ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරග මාලාවේ ආරම්භය සටහන් කරමින් එහි සහය දිවීමේ සැණකෙළිය අනිද්දා (9 වැනිදා) සිට දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා (11- 12) යන දිනවලදීත් එහිදී පැවැත්වේ.
මෙම සහය දිවීමේ සැණකෙළිය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ බාරයේ පවත්වා තිබෙන අතර දැන් එහි සංවිධාන කටයුතු ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට කෙළින්ම පවරා තිබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරග මාලාව මෙවරත් කණිෂ්ඨ හා ජේය්‍යෂ්ඨ යන ප්‍රධාන කාන්ඩ දෙකකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වසරේ සමස්ත තරග මාලාව සදහා දිවයිනේ පාසල් 1300 කින් සිසු සිසුවියෝ 30,000 ක් පමණ මූලික වටයන්හි සිට තරග වැදීමට සූදානමින් සිටින බව තරග සංවිධායකයෝ පවසති.
54 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා පාසල් (කනිෂ්ඨ) තරගාවලියේ පළමු අදියර මැයි 17 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 94 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) පාසල් තරගාවලිය (2025) ලබන අගෝස්තු 21 සිට 24 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙවර තරග මාලාවේ විශේෂත්වය වන්නේ පළමු වතාවට ඊට අර්ධ මැරතන් (ජේය්‍යෂ්ඨ) ඉසව්වක්ද පළමු වතාවට ඇතුළත් වීමයි. එම් මැරතන් තරග (බාලක - බාලිකා) ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.
ජෝන් ටාබට් (කණිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලියට වයස 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ හා 15 න් පහළ යන බාලක හා බාලිකා ඉසව් ඇතුළත් වේ. වයස16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ යන බාලක හා බාලිකා ඉසව් එහි ජ්‍යෙෂ්ඨ තරගාවලියට ඇතුළත් කර තිබේ.
මෙවර කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කරමින් ගම්පහ දිස්ත්‍රික්කය සදහා වෙනම තේරීම් තරග වටයක් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තීරණයට හේතු ලෙස තරග සංවිධායකයන් පවසන්නේ සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන තරගකරුවන්ගේ ගණන වඩාත් ඉහළ අගයක් ගන්නා බැවින් එසේ වෙනම ඔවුන් වෙනුවෙන් මූලික තරග වටයක් පවත්වන බවයි.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිනිය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ශ්‍රී ලංකාවේ පාසල් මලල ක්‍රීඩා තරග මාලාව ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ශ්‍රේණිගත තරගාවලි දෙකක් ලෙස මේ වන විට නිල වශයෙන් පිළිගෙන තිබෙන බවයි. ඒ අනුව මෙම තරග මාලාවේ ජයග්‍රාහකයන්ට ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු ප්‍රදනය කෙරේ. එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සදහා ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් මෙරට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ ලබා ගැනීමට ලැබෙන අවස්ථාවකි.
රිස්ට්බරි චොක්ලට් සන්නාමය යටතේ සී.බී.එල්.ෆුඩ්ස් ජාත්‍යන්තර පෞද්ගලික ලිමිටඩ් ආයතනය 14 වැනි වතාවටත් මෙවර තරග මාලාවට අනුග්‍රාහය දක්වයි. මෙම තරග මාලාවේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නිර්දේශ ලබන 25 දෙනෙකුට බැගින් වන ක්‍රීඩා පුහුණු ශිෂ්‍යාධාර වසරකට රුපියල් 120,000 ක් වන උපරිමයෙන් (මාසිකව රුපියල් දසදහස බැගින්) ප්‍රදානය කෙරේ. ඒ හැරෙන්නට ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ටද ඒ ආකාරයෙන්ම වන පරිදි රුපියල් 5000 ක් බැගින් ප්‍රදනය කිරීමට සී.බී.එල්. ෆුඩ්ස් ආයතනය ඉදිරිපත්ව සිටියි.
54 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ( කණිෂ්ඨ) තරගාවලිය පළමු අදියර පැවැත්වෙන ආකාරය
මැයි 17 - 18 : - දකුණ - සබරගමුව යන පළාත් හා මොනරාගල දිස්ත්‍රික්කය සදහා බෙලිඅත්ත ක්‍රීඩාංගණයේදී
ජූනි 4 සිට 6 වැනිදා දක්වා : -මධ්‍යම සහ වයඹ යන පළාත් හා බදුල්ල දිස්ත්‍රික්කය සදහා දිගන ක්‍රීඩාංගණයේදී
ජූනි 19 - 20 : - ගම්පහ දිස්ත්‍රික්කය සදහා - වතුපිටිවල ක්‍රීඩාංගණයේදී
ජූලි 2 සිට 4 වැනිදා දක්වා : - කළුතර දිස්ත්‍රික්කය සඳහා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී
ජූලි 16 - 17 : - උතුරු පළාත හා අනුරාධපුරය දිස්ත්‍රික්කය සදහා යාපනය දොරේ අප්පා ක්‍රීඩංගණයේදී
ජූලි 19 - 20 : - නැගෙනහිර පළාත හා පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා : - මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේදී
ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරග මාලාවට (2025) අනුග්‍රාහය දක්වමින් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිනී ඩී.ඒ.එස්.එස්.විජේසිංහ මහත්මියට සී.බී.එල්.ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික ආයතනයේ සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මහතා එම අනුග්‍රාහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.
එහි කළමනාකරු (කාන්ඩ)අරුණ ලියනපතිරණ, ප්‍රධාන විධායක හා අධ්‍යක්ෂ කමල් ගීගනගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග, පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ටිරෝන් ඉන්දික ගමගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.