Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද සිට

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද සිට

editorial - 2023 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන  34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද  (16) කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ වේ. ක්‍රීඩා උළෙල ලබන ඉරිදා (19) දක්වා සිවු දිනක් පැවැත්වීමේදී මලල ක්‍රීඩා ඉසව් සඳහා මෙම සිවු දිනයේදී සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 3000ක් පමණ වේ.

මෙරටදී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන දෙවැනි විශාලතම ක්‍රීඩා උළෙල වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඉසව් සියල්ලම මේ වනවිට පවත්වා අවසන්කර තිබේ. උළෙලේ ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව ලෙස මෙවරත් මලල ක්‍රීඩා තරගාවලිය  සංවිධානය කිරීමේ දී වයස 20න් පහළ හා 20න් ඉහළ වයස් කාණ්ඩ දෙකකින් ඉසව් පැවැත්වීම මෙම ක්‍රීඩා උළෙලේ ආවේනික ලක්ෂණයයි.

සමාරම්භක උත්සවය අද පස්වරු 3ට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහෙත් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (16) පෙරවරු 8.30 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් යෞවන කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙවර ක්‍රීඩා උළෙලේ  කටයුතු සංවිධානය වී තිබේ.

ක්‍රීඩා උළෙලේ පහන දැල්වීම 2023 ‘පතායා’ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ සහය දිවීමේ ලෝකඩ පදක්කම්ලාභිණි 2021 ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව (වයස 20න් පහළ) වූ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා එහිදී දක්ෂතම ක්‍රීඩකයා (20න් පහළ) වූ කඩුලු පැනීමේ ක්‍රීඩක බී. එස්. ඒ. කේ. ඩයස් විසින් සිදු කරති.

වයස 20න් පහළ හා 20න් ඉහළ දක්ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වන සිවු දෙනකු සඳහා රුපියල් 250000ක් බැගින් මෙවරත් ප්‍රදානය කෙරේ. දිවයිනේ දිස්ත්‍රික් හා කලාප 26ක් ආවරණය වන පරිදි මෙම සිවු දින පුරා දිවයිනේ යෞවන සමාජ සාමාජිකත්වය හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම ක්‍රීඩා උළෙලේ තරග වැදීමට වරම් හිමි කරගත්තෝ වෙති.

සමස්ත ශූරතාව දිනාගන්නා දිස්ත්‍රික් කණ්ඩායමට රුපියල් ලක්ෂ දෙකක්ද සමස්ත අනුශූරතාවට එක් ලක්ෂ පනස් දහසක්ද හා සමස්ත තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක්ද ප්‍රදානය කෙරේ.

ඒ හැරෙන්නට මලල ක්‍රීඩා නව තරග වාර්තාවක් සඳහා රුපියල් දසදහසක්ද ජාතික තරග මලල ක්‍රීඩා නව වාර්තාවක් සඳහා රුපියල් 50000ක්ද බැගින් තව දුරටත් ත්‍යාග මුදල් රැසක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ටී. අනිල් සිරිවර්ධන මහතා පවසයි.

ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉරිදා (19) පස්වරු 3ටය. ඉතිරිව පවතින ක්‍රීඩා උළෙලේ පාපන්දු අවසන් මහ තරගය අද මලල ක්‍රීඩා ඉසව් නිමාවේදී සුගතදාස පිටියේ දී පැවැත්වේ.


අදහස් (0)

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.