Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට සිට

ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට සිට

editorial - 2023 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වසර තුනක අත්හිටුවීමකින් පසුව ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට (24) කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ වේ. ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඒ අනුව හෙට, අනිද්දා සහ ඉන්අනිද්දා (24-25-26) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර සංවිධානය කෙරෙන ක්‍රීඩා උළෙල ‘‘47 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය’’ ලෙස නිල නාමයේ සංශෝධනයක් කරමින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය උනන්දු වී තිබේ.

වසර 2019 ඔක්තෝබර් 25-26-27 යන දිනවල බදුල්ල ‘‘වින්සන්ට් ඩයස්’’ පිටියේ දී ක්‍රීඩා අමාත්‍යාංශය අවසන් වරට පවත්වා අවසන් කළේ 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලයි. රටේ උද්ගත වූ කොවිඩ් වසංගතය හා ආර්ථික කඩා වැටීම් ඉතිහාසයේ පළමු වතාවට වසර තුනේම ක්‍රීඩා උළෙල නොපැවැත්වීමට හේතු විය.

කෙසේ වුවත් මෙවර ක්‍රීඩා උළෙල දුෂ්කරතා රැසක් මැද සංවිධානය කළ බව පවසන ක්‍රීඩා අමාත්‍යාංශය, ඒ සඳහා භාණ්ඩාගාරය අනුමත කළ මුදල රුපියල් මිලියන 100කට සීමා වූ බව පවසයි..

එය ක්‍රීඩා උළෙල අවසන් වරට සංවිධානය කළ 2019දී වෙන් කළ මුදලට වඩා රුපියල් මිලියන 200කින් පමණ අවම වීමකි. මෙම ක්‍රීඩා උළෙල කොළඹ දී සංවිධානය වන්නේ වසර 2012න් පසුවය.

ප්‍රධාන වශයෙන් රන් පදක්කම් 262ක් සඳහා මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වීමේ දී ක්‍රීඩා ඉසව් 27ක් ඊට අන්තර්ගත වේ. පළාත් නවයෙන් ක්‍රීඩා උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන දස දහසකට ආසන්නය.

කෙතරම් දුෂ්කරතා පැන නැගුණත් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාධාවකින් තොරව පහසුකම් සැලසීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද පස්වරු 3.30ට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සෙනසුරාදා (26) පස්වරු 3ට ක්‍රීඩා උළෙලේ සමාප්තිය හා ජය සංකේත ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අද සමාරම්භක උත්සවය අවස්ථාවේ ගිනි සිළුව දැල්වීම සඳහා ආරාධනා ලබා සිටින්නේ ජූඩෝ හා මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් දෙකක දී ජාත්‍යන්තර දස්කම් දක්වා ඇති ක්‍රීඩක ඊ.එම්.සී. ප්‍රියංකර හා මලල ක්‍රීඩා කෙටි ධාවන ශූරියක් වන ෂිවන්ති ජයතිලක විසිනි.


අදහස් (0)

ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.