Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලලක්‍රීඩා තේරීම් දියගමදී

ජාතික මලලක්‍රීඩා තේරීම් දියගමදී

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික මලල ක්‍රීඩා තේරීම් - අදියර 1 තරගාවලිය අද (1) දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී ආරම්භ වේ. මෙහි වැදගත්කම වන්නේ 2024 වසරට නියමිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය නිර්දේශ කෙරෙන ජාතික මලල ක්‍රීඩා සංචිතයට අලුතින් ක්‍රීඩකාවන් තෝරා ගැනීම මේ හමුවේ සිදු කෙරෙන බැවිනි.

මෙම තේරීම් තරගාවලිය හෙටත් (2) එහිදී පැවැත්වේ. තරගාවලියේ තවත් සුවිශේෂී වැදගත්කමක් වන්නේ අප්‍රේල්  24 සිට 27 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන 21 වැනි ආසියනු  කනිෂ්ඨ (වයස 20න් පහළ) තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කිරීමක් එයින් සිදු කෙරෙන බැවිනි.

‘ආසියානු රන් පදක්කම්ලාභී මැදි දුර ධාවන ශූරී තරුෂි දිල්සරා කරුණාරත්න අද ආරම්භ වන තේරීම් තරාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී තිබේ.

ඒ අනුව සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් 18 දෙනකු හා ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතයේ දැනට කල් ගෙවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 86 දෙනකු මෙම තේරීම් තරගාවලියට සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ ලබන ජුනි 23 සිට 25 වැනිදා දක්වා සුගතදාස පිටියේදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය තෙක් මෙම තරගාවලියේ තේරීම් වලංගු වන බවයි.

මේ දිනවල රටේ උද්ගතව පවතින දැඩි උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින් මෙම දෙදිනදීම දහවල් කාලයේදී තරග ඉසව් පැවැත්වීම අත්හිටුවීමට මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

 ඒ අනුව අද දිනයේදී පෙරවරු 7ට තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව පෙරවරු 9.15 දක්වාත් අනතුරුව පස්වරු 3 සිටත් අදියර දෙකකට තරග ඉසව් පැවැත්වේ. හෙට දෙවැනි දිනයේත් පෙරවරු 7ට තරග ආරම්භ වී පෙරවරු 10 දක්වා පැවැත්වීමෙන් අනතුරුව  නැවත ඉතිරි ඉසව් පස්වරු 3.30 සිට පවත්වාගෙන යාමට කටයුතු  කෙරේ.

මෙම වසරේ මලල ක්‍රීඩා තේරීම්හි වඩාත්  වැදගත්කම වන්නේ එළඹෙන (2024) පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු වී සිටීමයි.

කෙසේ වුවත් තෝරාගත්  ඉසව් කීපයක් ඉලක්ක කරමින් තවත් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් ලබන මැයි 11-12 දෙදින සුගතදාස පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම වසරේදී මලල ක්‍රීඩා ආයතනය දියගම ක්‍රීඩාංගණයේදී පවත්වන එකම තරගාවලියත් අද ආරම්භ වන තේරීම් තරගාවලියයි.  කෙසේ වුවත් දියගම ක්‍රීඩාංගනයේ කෘත්‍රිම ධාවන පථය මේ වනවිට පවතින්නේ අබලන් මට්ටමකය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වත්මන් ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාද මෙම ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ චාරිකා කිපයකට සහභාගි වෙමින් එහි අළුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබේ.

පැරිස් ඔලිම්පික් උළෙල ‘බහමාස්’ ලෝක  සහය දිවීමේ ශූරතාවලිය, ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය, (පේරු-ලීමා), ඇතුළුව විවෘත අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි කීපයකට සහභාගිවීමට ශ්‍රී ලංකාව මේ වනවිට සූදානමින් සිටියි. 


අදහස් (0)

ජාතික මලලක්‍රීඩා තේරීම් දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.