Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාත් බෑ කියයි
ලෝකශූරතා මලලක්‍රීඩා

ගයන්තිකාත් බෑ කියයි

editorial - 2023 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

හංගේරියාවේ ‘‘බුඩාෆෙස්ට්’’ නුවර දී අගෝස්තු 19 වැනිදා ආරම්භවන 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ වී සිටින ශ්‍රී ලංකා මැද දුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්න එම තරග සංචාරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී තිබේ.

එහිදී මීටර 1500 (කාන්තා) ඉසව්වට සහභාගීත්වය තහවුරු කර ගත් ගයන්තිකා අබේරත්න මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 29 වැනිදා චීනයේ ‘‘හංජෝ’’ නුවර දී ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට වඩාත් හොඳ සූදානම් වීමක් සඳහා ලෝක ශූරතා තරග සංචාරයෙන් ඉවත්වීමට තමා තීරණය කළ බවයි. ඒ අනුව මෙම තරග සංචාරයට සහභාගීවීමට නියමිතව සිටි ඇගේ පෞද්ගලික පුහුණුකරු සජිත් ජයලාල් මහතා ද ඉන් ඉවත්වන බව දැනුම් දී තිබේ.

බුඩාෆෙස්ට් ලෝක ශූරතා සංචාරයට නිර්දේශ වී සිටි ඉතාලියේ වෙසෙන මීටර් 100 ශූර සුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීට පෙර එයින් ඉවත්වන බව නිවේදනය කර සිටියේය.

කෙසේ වුවත් ඒ සඳහා නිර්දේශවී සිටින මීටර් 4x400 (පිරිමි) ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනා ඇතුළුව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ බුඩාෆෙස්ට් ලෝක තරගාවලියට සහභාගීවීමට මේවනවිට සූදානමින් සිටිති.

සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස අජිත් නාරගල මහතාත් ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස අයිරාංගනී රූපසිංහ මහත්මියත් බුඩාෆෙස්ට් නුවරට පිටත්ව යති. ඔවුන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපති ධුර දරන්නෝ වෙති. එහිදී කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ කටයුතු කරන්නේ හරිජන් රත්නායක මහතායි. ශ්‍රී ලංකාව වසර 2001 එඩ්මන්ටන් නුවර දී පැවැති ලෝක ශූරතා තරගාවලියෙන් පසුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට නිර්දේෂ ලබාගත් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස බුඩාෆෙස්ට් තරගාවලිය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

ලෝක තරගාවලියෙන් ඉවත් වූ ගයන්තිකා අබේරත්න අවසන් වරට පසුගිය ජූලි 30 වැනිදා සුගතදාස පිටියේ දී නිමාවට පත් වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී මීටර 800 (කාන්තා) ඉසව්ව විනාඩි 2 තත්පර 02.83 කට ද, මීටර 1500 (කාන්තා) ඉසව්ව විනාඩි 4 තප්පර 16.83කටද නිමා කරමින් එම ඉසව්වෙහි ජයග්‍රාහිකාව වූවාය.

නාවික හමුදාවේ සේවය කරන 36 හැවිරිදි ගයන්තිකා අවසන් වරට 2022 ඉයුජින් නුවර දී නිමාවූ 18 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩිකාවකි. එහි දී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් ඇය විනාඩි 2 තත්පර 02.35 කට මූලික වටයෙන්ම පරාජයට පත්වූවාය. ඉකුත් බැංකොක් නුවර දී නිමාවට පත් වූ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 2 තත්පර 03.25 කට ද මීටර් 1500 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 4 තත්පර 14.39 කටද ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගත්තාය.

බැංකොක් (2023) ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර් 4x400 (පිරිමි) ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් (විනාඩි 3 තත්පර 01.56) රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ කාලිංග කුමාරගේ, අනුර දර්ශන, පබසර නිකු හා රාජිත රාජකරුණා හැරුණුකොට අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස පසිඳු කොඩිකාර හා දිලුක දේශාන් බුඩාෆෙස්ට් ලෝක ශූරතා තරග සංචාරයේ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට නිර්දේශ කර තිබේ.

 


අදහස් (1)

ගයන්තිකාත් බෑ කියයි
  • Rathnapriya Tuesday, 08 August 2023 04:33 PM

    හොඳ තීරණයක්. ලංකාව වෙනුවෙන් තරග කරනවාට වඩා තමන්ගේ රැකියාව කරගෙන ඉන්න එක ආඩම්බරයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.