Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාට ගෙදර එන්න කළින්ම ගුවන් ප්‍රවේශපත් සකස් කරලා
ආසියානු මලල ක්‍රීඩා

ගයන්තිකාට ගෙදර එන්න කළින්ම ගුවන් ප්‍රවේශපත් සකස් කරලා

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි ගයන්තිකා අබේරත්න ආසියනු ක්‍රීඩා උළෙලේ සිය ඉසව් සහභාගීත්වය අවසන් කිරීමට පෙර නැවත දිවයිනට ළඟාවන ගුවන් ප්‍රවේශපත්‍රය සකස්කර ඇතියි වාර්තාවේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ජාතික ඔලිම්පික් කමිටුව මේ වනවිට දැනුවත්කර තිබේ. මීට හේතුවී ඇත්තේ ගයන්තිකා සහභාගි වන මීටර 1500 (කාන්තා) ඉසව්වේ අවසන් තරගය ඔක්තෝබර් 4 වැනිදාට යෙදී තිබෙන අතර ඇයට ක්‍රීඩා උළෙල පැවැත්වෙන ‘හංජෝ’ නුවර සිට පෙරළා ශ්‍රී ලංකාව බලා පැමිණීමට සූදානම් කර ඇත්තේ ඔක්තෝම්බර් 3 වැනිදා වන බැවිනි.

ගුවන් ප්‍රවේශපත්‍ර සකස් කිරීමේ දී ඇතිවී තිබෙන මෙම දෝෂය පිළිබඳව මලල ක්‍රීඩා ආයතනය මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත්කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

රටවල් 45ක සභාගිත්වයෙන් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන සෙනසුරාදා (23) සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා චීනයේ ‘හංජෝ’ නුවර දී පැවැත්වේ. කෙසේ වුවත් ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භක උත්සවය සෙනසුරාදාට යෙදී තිබුණත් එහි ක්‍රිකට් (විස්සයි - 20) ඇතුළු ඉසව් කීපයක් පැවැත්වීම ඊයේ (19) සිට ආරම්භ විය.

ක්‍රීඩා ඉසව් 40කින් සමන්විත මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ඉන් ක්‍රීඩා ඉසව් 21කට ශ්‍රී ලංකාව තරග වදියි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනකු ඇතුළුව පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන් එකතුව 153 දෙනකුගේ සමස්ත කණ්ඩායමක් ඉදිරිපත් කරමිනි.

එහිදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අවධානය දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දැන් 13කට සීමාවී තිබේ. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා සුපිරි කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් මීට දින කීපයකට පෙර හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි නොවන බව දැනුම් දුන්නේය.

මේ අතර මීටර 3000 – බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායකටද හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ සහභාගිත්වයේ ඉඩක් තිබුණද ඇය මේ වනවිට තහනම් උත්තේජක චෝදනාවට ලක්ව තරග තහනමට ලක්ව සිටියි.

මෙම කාරණා තුළින් සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සංයුතියේ වෙනසක් සිදුව තිබේ. ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලේදී මීටර 400x4 (පිරිමි) හා එහි මිශ්‍ර ඉසව්ව කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නායකයා ලෙස නම් කර ඇති කාලිංග කුමාරගේ ඇතුළුව අරුණ දර්ශන, නදිෂා රාමනායක, තරුෂි කරුණාරත්න මිශ්‍ර සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශවී සිටිති.

එහි ක්‍රීඩකයන් දෙදෙනා හැරෙන්නට පබසර නිකු හා රාජිත රාජකරුණා මීටර 4x400 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. පැවති ආසියනු ශූරතා තරග රන් පදක්කම නව වාර්තාවක් පිහිටුවමින් දිනා ගත්තේ මෙම ක්‍රීඩකයන් සිවු දෙනාගේ එකතුවයි.

මේ අතර ක්‍රීඩා උළෙලට නිර්දේශ කර තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු මීට සති කිහිපයකට පෙර සත්කාරක චීනයට ළඟා වූයේ ක්‍රීඩා උළෙලට පෙර නේවාසික පුහුණුවීම් සැසිවාරයක් සඳහාය.

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රාජිත රාජකරුණා, පසිඳු කොඩිකාර, දිනුක දේශාන්, නදිෂා රාමනායක, ජයෙෂි උත්තරා, සයුරි මෙන්ඩිස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වන බුද්ධික තුෂාර හා විමුක්ති සොයිසා යන මහත්වරු ඒ සඳහා සහභාගි වී සිටිති.

පුහුණු වැඩමුළුවට සහභාගි වෙමින් සිටින මෙම පිරිස ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලි ආරම්භ වන සැප්තැම්බර් 29 වැනිදාට දින තුනකට කලින් නේවාසික පහසුකම් සලසා තිබෙන හංජෝ ක්‍රීඩා ගම්මානයට ළඟා වීමට නියමිත බව දැන් එහි සිටින සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි නිෂාන්ත පියසේන මහතා පැවසීය.

1951 නවදිල්ලි ක්‍රීඩා උළෙලෙන් ආරම්භ වූ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව මෙතෙක් වැඩිම පදක්කම් දිනා ඇත්තේ මලල ක්‍රීඩාවෙනි. මේ දක්වා රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ඇති ශ්‍රී ලංකාව මේ දක්වා දිනා ඇති සෙසු එකම රන් පදක්කම 2014 ක්‍රීඩා උළෙලේ දී ක්‍රිකට් (විස්සයි-20) පිරිමි ඉසව්වෙන් ලබා තිබේ.

වසර 2006 ඩෝහා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත්වී සිටීම කැපී පෙනේ. ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කමක් දිනා ඇත්තේ 2002 බුසාන් ක්‍රීඩා උළෙලේදී ය. එහිදී සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා මීටර 100 හා මීටර 400 යන කාන්තා ඉසව් දෙකෙන් රන් පදක්කම් දෙකක්ම දිනා ඇත.

2002 බුසාන් තරගාවලියේ දී මීටර 100 (කාන්තා) ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ තත්පර 11.15කට හා 1998 බැංකොක් තරගාවලියේ දී මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් තත්පර 22.48කට පිහිටුවා තිබෙන වාර්තා ආසියානු ක්‍රීඩා උළෙලේ තවමත් නොබිඳී පවතින ශ්‍රී ලාංකිකයන් සතු මලල ක්‍රීඩා වාර්තා දෙකකි.

හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම:- කාලිංග කුමාරගේ (මීටර 400, මීටර 4x400 හා මිශ්‍ර), අරුණ දර්ශන (එම), උෂාන් තිවංක පෙරේරා (උස පැනීම), පබසර නිකූ (මීටර 400 - මීටර 4x400) රාජිත රාජකරුණා (මීටර400 - මීටර 4x400), දිනුක දේෂාන් (මීටර 4x400), පසිඳු කොඩිකාර (මීටර4x400), රුමේෂිකා රත්නායක (මීටර100 - මීටර 200 කාන්තා), නදිෂා රාමනායක (මීටර 400 කාන්තා මිශ්‍ර), ගයන්තිකා අබේරත්න (මීටර 800 - මීටර 1500 - කාන්තා) තරුෂි කරුණාරත්න (මීටර 400 – කාන්තා මිශ්‍ර සහය) සාරංගි සිල්වා (දුර පැනීම – කාන්තා), ඩිලානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම - කාන්තා), ජයේෂි උත්තරා (මීටර 400 – කාන්තා - මිශ්‍ර සහය), සයුරි මෙන්ඩිස් (මිශ්‍ර සහය). නිලධාරීන්:- කළමනාකරු - ලාල් චන්ද්‍රකුමාර, ප්‍රධාන පුහුණුකරු අයි.එම්. රණසිංහ, සහය දිවීමේ පුහුණුකරු:- විමුක්ති ද සොයිසා, පුහුණුකරුවන්:- වයි.කේ. කුලරත්න, ක්ලෝඩියෝ ලිකියාඩෙල්ලා, කේ.පී. සුසන්ත, භෞතචිකිත්සක:- මෙනිසෝ ගලදෙරිසි යන මහත්වරුන්. 


අදහස් (0)

ගයන්තිකාට ගෙදර එන්න කළින්ම ගුවන් ප්‍රවේශපත් සකස් කරලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.