Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කෞශල්‍යා රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි
ජාතික මලල ක්‍රීඩා

කෞශල්‍යා රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේදී අද (11) නිමාවට පත්වූ ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලියේ දී මීටර් 3.70 කට රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට එහි ජාතික ශූරිය වන යුද හමුදා ක්‍රීඩිකා කෞෂල්‍යා පෙරේරා සමත් වූවාය.

එය මෙතෙක් ඇය සතුව තිබූ එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව (මීටර් 3.60) සෙන්ටිමීටර් 10 කින් වර්ධනය කිරීමකි. වසර 2021 නොවැම්බර් 23 වැනිදා කෞශල්‍යා අවසන් වරට රිටි පැනීම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබුණි.

රිටි පැනීම මෙරට ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන මලල ක්‍රීඩා ඉසව්වක් ලෙස හැඳින්විය හැකිය. ආසියානු ශූරතා රිටි පැනිම (කාන්තා) ඉසව්වේ මේ වන විට දක්ෂතාව මීටර් 4.66 කි. එහි ආසියානු තරග වාර්තාව මීටර් 4.70 කි.

මෙම වාර්තා දෙකම දැනට සතුවන්නේ චීන ක්‍රීඩිකා ලී ලින්ග් වෙත ය. රිටි පැනීම කාන්තා හා පිරිමි ඉසව් දෙකට මෙතෙක් සාග් ක්‍රීඩා උළෙල සඳහාද හඳුන්වා දී නැත.

මෙම වසරේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා දක්ෂතා හෙබි ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සඳහා විශේෂයෙන්ම ඊයේ සහ පෙරේදා (10-11) දියගම මහින්ද රාජපක්ෂ  පිටියේදී මෙම දෙවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පැවැත්විණි.

කෙසේ වුවත් එහිදී යොවුන් ක්‍රීඩක ක්‍රිඩීකාවන්ගේ දක්ෂතා වඩාත් ප්‍රදර්ශනය වූයේ ලබන අගෝස්තු 2 සිට 7 වැනිදා දක්වා කොලොම්බියාවේ ‘කේලි’ නුවරදී පැවැත්වෙන 19 වැනි ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුම ඊට නිර්දේශ ලබා ගැනීමට සමත්වීමෙනි.

ඊයේ අළුතෙන්ම ඒ සඳහා නිර්දේශ ලබාගත් ක්‍රීඩිකාව වූයේ මීටර් 400 කඩුලු ක්‍රීඩිකා ඊ.කේ. මධුෂානි ය. විනාඩි 1 තත්පර 00.13 කට එම ඉසව්ව ජය ගනිමින් ඇය ඒ සඳහා නිර්දේශ ලබා ගත්තේ එහි ශ්‍රී ලංකා කනිෂ්ඨ තරග වාර්තාව ද අළුත් කරමිනි.

ගුවන් හමුදා ක්‍රීඩිකා එච්.ඒ. ලක්ෂිකා ඊයේ පැවැති මිටිය විසිකිරීම (කාන්තා) ඉසව්ව මීටර් 44.56 ක් දක්වා වන දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් ඉසව්ව ජය ගත්තේද එහි නව ශ්‍රී ලංකා කනිෂ්ඨ තරග වාර්තාවක් පිහිටුවමිනි.

මීටර් 400 – කඩුලු (කාන්තා) ඉසව්වේ මෙතෙක් ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවට හිමිකම් කීවේ විනාඩි 1 තත්ත්පර 00.57 කට හෂිනි හෙට්ටිආරච්චි ය. එය වසර 2019 දී පිහිටුවූවකි.

ඒ අතර මීටර්  36.79 කට මිටිය විසිකිරීම කාන්තා කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවට ඊයේ වන තෙක් හිමිකම් කීවේ එම්.ජී.එන්. මන්දිනී විසිනි. එහිදී වසරක් ඉක්ම යාමට මත්තෙන් ඇයගේ වාර්තාව ඊයේ දියගම දී ලක්ෂිකා අතින් බිඳ වැටුණි. මෙහි ශ්‍රීලංකා ජාතික වාර්තාව මීටර් 48.76 ක අගයක් ගනියි.

 


අදහස් (0)

කෞශල්‍යා රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.