Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩා මහ ගෙදරින් තරුෂිට මිලියන 15ක්
ආසියානු ක්‍රීඩා

ක්‍රීඩා මහ ගෙදරින් තරුෂිට මිලියන 15ක්

editorial - 2023 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි එකහමාරක (මිලියන 15 ක) මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

 මෙම මුදල ඇයට හිමිවෙන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ජයග්‍රහණ හා පදක්කම්ලාභීන් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කණ්ඩායම් වෙත ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙන මුදල් ත්‍යාග සැලසුම් ලැයිස්තුව යටතේය.

වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනාගත් වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ සිසුවියක් වන 18 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්නට මෙම මුදල් ත්‍යාග ලැයිස්තුව යටතේ රුපියල් මිලියන 15 ක ගෙවීම් ලබා දීමට සැළසුම් කර ඇත.

මේ යටතේ ආසියානු ක්‍රීඩා උළෙලක රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා කණ්ඩායම් වෙත රුපියල් කෝටියක් හා මිලියන පහක් ලෙස දිරි ගැන්වීමේ ගෙවීම් (ත්‍යාග) ලබා දීමට යෝජිතය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ ආකාරයෙන් ආසියානු ක්‍රීඩා පදක්කමක් දිනා ගත් අවස්ථාවකදී ලැබෙන එම ත්‍යාග මුදල කණ්ඩායමේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් අතර සමසේ බෙදා දේ.

 ඒ අනුව ‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගත් හෙල්ල වීසි කිරීමේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේට රුපියල් කෝටියක් ද ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා මීටර 4x400 කාන්තා හා පිරිමි සහාය දිවීමේ කණ්ඩායම් දෙකට රුපියල් මිලියන පහක් බැගින් ද බෙදා දේ.

 මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය යෝජනා කර තිබෙන පරිදි ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩකයකු ක්‍රීඩිකාවක හෝ කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුට ඔවුන් දිනාගන්නා ත්‍යාග මුදලේ වටිනාකමින්  25% ක් නොඉක්ම වන ගෙවීමක් ලබා දේ.

 තරුෂි දිල්සරා පෙරේදා (4) හංජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2 තත්පර 03.20 ක කාලයකිනි. එදිනම ඇය මීටර 4x400 (කාන්තා) සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ධාවනයට ද එක්වෙමින් එම පදක්කම ශ්‍රී ලංකාවට දිනා ගැනීමට ඉහළම දායකත්වයක් ලබා දුන්නාය.

 ඇගේ දක්ෂතා ‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේදී එයින්ද නොනැවතුණු අතර මෙම ඉසව් දෙකට පෙර ඇය ද ධාවනයට එක්වුණු ශ්‍රී ලංකා මීටර 4x400  (මිශ්‍ර) සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගත්තත් මංතීරු නීතිය උල්ලංඝනය කිරීමේ වරදට හසුවීමෙන් ශ්‍රී ලංකාවට එම පදක්කම අහිමි විය.

 හංජෝ නුවර සිට ලංකාදීපයට අදහස් දැක්වූ තරුෂි දිල්සරාගේ පෞද්ගලික පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ තරුෂිගේ මීළඟ උත්සාහය 2024 ‘පැරිස්’ ඔලිම්පික් උළෙල බවත් ඒ සඳහා නිර්දේශ ලබා ගැනීමේ අභිප්‍රායෙන් ලබන මාර්තු මාසය වන විට ඇය යුරෝපයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගි කිරීමට සැලසුම් කරන බවයි.

සුසන්ත ප්‍රනාන්දු මහතා මේ වන විට වත්තේගෙදර අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහු තරුෂි පුහුණුවීම් හදාරණ වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ වසර 33 ක් තිස්සේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

 12 හැවිරිදි වියේ සිට තරුෂි දිල්සරාගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සුසන්ත ප්‍රනාන්දු මහතාය. මේ අතර උසස් පෙළ වාණිජ විෂයන්ගෙන් මෙම වසරේ විභාගයට සූදානම් වන තරුෂි ලබන ඔක්තෝබර් මාසයේ කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන  සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට සූදානම්ව සිටියි.

 එය ඇගේ අවසන් පාසල් තරග සහභාගිත්වය වන අතර එහිදී මීටර 400 හා මීටර 800 යන බාලිකා ඉසව් දෙකටම ඇය සහභාගි වීමට නියමිතය.

ඇගේ පුහුණුකරු සුසන්ත  ප්‍රනාන්දු මහතා පවසන්නේ ආසියානු රන් පදක්කම් ශූරියක් වන සිසුවියක් පාසල් තරගාවලියකට සහභාගි වන්නේ පළමු වතාවට බවයි.

මේ අතර ‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වය නිමාවට පත්වෙමින් තිබෙන අතර ඊයේ තරග වැදුණු තවමත් පාසල් සිසුවියක් වන 19 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු මල්ලවපොර කිලෝග්‍රෑම් 53 නිදහස් ආර (කාන්තා) අටදෙනාගේ තරග වටයේදී කසකස්තාන ක්‍රීඩිකා මරීනා සෙද්තේවාට 5-4 කින් පරාජය වීමෙන් එයින්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූවාය.

 මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මීට පෙර අවධානය දිනාගත් ප්‍රධානතම පුවත වූයේ 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 බර පන්තිය (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමයි.


අදහස් (1)

ක්‍රීඩා මහ ගෙදරින් තරුෂිට මිලියන 15ක්
  • S.A.D.N.P.Senarath Saturday, 07 October 2023 09:04 AM

    ගොඩක් සතුටුයි.. ඒ දෝනිට තව තව තෑගි ලබා දෙන්න. දුව ඔයාට තේරුවන් සරණින් යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.