Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඌෂාගේ වාර්තාව ශෆියාට

ඌෂාගේ වාර්තාව ශෆියාට

editorial - 2025 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ඉන්දියාවේ සත්කාරයෙන් රංචි නුවරදී නිමාවට පත්වූ සිවු වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා මොහොමඩ් යාමික් ෆාතීමා ශෆියා මීටර 200 (කාන්තා) ඉසව්ව තත්පර 23.58 කට නිමා කරමින් එහි රන් පදක්කමත් දිනා ගැනීමට සමත්වූවාය.

තරගාවලිය රංචි නුවරදී 26 රාත්‍රීයේදී නිමාවට පත් වන විට ශ්‍රී ලංකාව එහි දෙවැනි තැනට පත් වූයේ රන් පදක්කම් 16 ක් දිනාගනිමිනි.සත්කාරක ඉන්දියාව රන් පදක්කම් 20 ක් දිනා ගනිමින් මෙහිදීත් තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා බවට පත් විය.

රංචි තරගාවලිය පුරා අවධානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා යාමික් ෆාතිමා පෙරේදා රාත්‍රීයේදී මීටර 200 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 1998 (කොළඹ) තරගාවලියේදී එකළ ඉන්දියාවේ නම ගිය කෙටි ධාවන ශූරියක් වන  පී.ටී.ඌෂා විසින්  23.90 කට බිහි කර තිබූ එතෙක් වසර 28 ක් රැදී තිබුණු එහි වාර්තාව බිද දමමිනි.

යාමික් ෆාතිමා මීටර 100 ( කාන්තා) ඉසව්ව තත්පර 11.53 කට ජය ගැනීමත් සමග දකුණු ආසියාවේ අලුත්ම වේගවත්ම කාන්තාව බවටද ඇය පත් වූවාය.මීටර 4 X 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ඇය ක්‍රීඩීකාවක් වූ බැවින් මෙවර තරගාවලියේදී ඇය දිනා ගත් රන් පදක්කම් ගණන තුනකි.

26 හැවිරිදි ඇය  මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ ඉහළ අවධානයක් යොමූ නොවූ ක්‍රීඩිකාවක් බැවින් රංචි නුවරදී ඇගේ දස්කම් දැඩි අවධානයක් දිනා ගත්තාය.වසර 2019 සිට දේශීය තරග බිමේදී යුද හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඇයගේ පුහුණුකරු වන්නේ එස්.පී.විතාන මහතාය.

පසුගිය 26 වැනිදා තරගාවලියේ අවසන් දිනයේදී  ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් හතක් දිනා ගැනීම කැපී පෙණුනි.

  මීටර 800 ( පිරිමි) ඉසව්වෙන් හර්ෂ කරුණාරත්න ( විනාඩි 1.තත්පර 51.96), හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නදීෂා දිල්හානී ලේකම්ගේ ( මීටර 60.14), මධුෂානි හේරත් ( මීටර 6.23), මීටර 10000 (කාන්තා) ඉසව්වෙන් මෙත්මී රාසා ( විනාඩි 34.තත්පර 39.95), මීටර 4 X 400 (පිරිමි) ඉසව්වෙන් ද (විනාඩි 3 තත්පර 05.12), හා මීටර් 400-කඩුලු (කාන්තා) ඉසව්වෙන් වත්සලා හපුආරච්චිගේ (තත්පර 58.66)  අවසන් දිනයේදී රන් පදක්කම්    දිනා ගත් ඉසව් වේ. තරගාවලියේ අතිශූර ක්‍රීඩකයාලෙස ශ්‍රී ලංකා හේල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සම්මාන දිනාගත්තේය.

පාකිස්තානයේ සහභාගිත්වයෙන් තොරව මෙවර පැවැති තරගාවලිය කලාපයේ රටවල් හයකට සීමා විය.එහිදී රන් පදක්කම් දිනා ගැනීම ඉන්දියාව හා ශ්‍රී ලංකාවට පමණක් සීමා විය.1997 දී ආරම්භ වූවත් මෙම තරගාවලිය මේ දක්වා සංවිධානය කිරීම සිවු වතාවකට පමණක් සීමාවී තිබේ.ඒ අනුව මීට පෙර එය 1997 - 1998 හා 2008 යන වසර වලදී පවත්වා තිබේ.

මෙවර තරගාවලියට  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 59 දෙනෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි  වූහ. එක් ක්‍රීඩිකාවක් වීසා ප්‍රශ්නයක් පැන නැගීමෙන් තරග සංචාරයෙන් ඉවත්වූ බවද වාර්තාවේ.වසර 2019 න් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගාවලියකදී සියලු මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් තරග වැදුණේ රංචි දකුණු ආසියානු තරගාවලියේදී වීමත් කැපී පෙනේ.

මෙවර දකුණු ආසියානු තරගාවලියට ඉන්දියාව දෙවැනි පෙළ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකාවට වඩාත් පහසුවෙන් පදක්කම් දිනා ගැනීමට හැකිවූ බවට ඇතැමුන් පළ කරන මත පිළිබදව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු ප්‍රධාන ලේකම් හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සමන් කුමාර ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.”

‘‘ඉන්දියාව සහභාගි කළේ දෙවැනි පෙළද තෙවැනි පෙළද කියලා වැදගත් නෑ.ඒ නිසා පදක්කමේ වටිනාකම අඩු වෙන්නෙත් නෑ.දකුණු ආසියානු පදක්කම නම් ඒකේ වටිනාකම ඒකම තමයි.ඒක කවුරු දිනා ගත්තත් පදක්කමේ වටිනාකමට ඒකෙන් බලපෑමක් නෑ.ඉතිහාසයට එක් වෙන්නේ ශ්‍රී ලංකාව පදක්කම දිනා ගත්ත කියන එක විතරයි.අති පන්ඩිත සමහර විචාරකයන් මේ කරන්නේ අපේ ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය විනාශ කරන එකයි”

සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද ( 28) පාන්දර පෙරළා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබුණි.


අදහස් (0)

ඌෂාගේ වාර්තාව ශෆියාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.