Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියාවේ අංක එක ශ්‍රී ලංකාවේ තරුෂිට

ආසියාවේ අංක එක ශ්‍රී ලංකාවේ තරුෂිට

editorial - 2022 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් පිහිටු වූ තරුෂි දිල්සරා කරුණාරත්න මෙම ඉසව්වේ කනිෂ්ට (කාන්තා) ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට පැමිණීමට සමත්ව සිටින්නීය.

දියගමදී පසුගිය සෙනසුරාදා (9) මීටර 800 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය හිමිකර ගත්තේ විනාඩි 2 තත්පර 04.40කටය. එය එම ඉසව්වේ ජාතික කනිෂ්ඨ නව වාර්තාව ලෙස එම මොහොතේ සටහන් වනවිට ඇය ආසියාවේ අංක එකට පැමිණ සිටින අතර ඉසව්වේ (කනිෂ්ඨ) ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඇය සිවු වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබුණි.

ශත සංවත්සර ජාතික තරගාවලියට තරුෂි තරග වැදුණේ ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය  කරමිනි. ඇය මේ වනවිට වලල ඒ රත්නායක මැදි විදුහලේ උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරන සිසුවියක් වන අතර පාසල් මලල ක්‍රීඩා කෙළිබිමේ ප්‍රකට පුහුණුකරුවකු වන සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ ඇය පුහුණුවීම් හදාරයි.

තරුෂි විසින් බිඳ දැමූ මීටර800 කනිෂ්ඨ (කාන්තා) ඉසව්වේ මින් පෙර ජාතික වාර්තාවට හිමිකම්  කියූ ඩිල්ෂි කුමාරසිංහ (විනාඩි 2 තත්ත්පර 04.84) ද සුසන්ත ප්‍රනාන්දු මහතාගෙන් පුහුණුවීම් හැදැරූ ක්‍රීඩිකාවකි.

තරුෂි සෙනසුරාදා මෙම දස්කම් දක්වන විටත් අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා කොළොම්බියාවේදී  පැවැත්වෙන 19 වැනි ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට මිටර 800 හා මීටර 400 යන කාන්තා ඉසව් දෙකෙන්ම නිර්දේශ ලබා සිටීම කැපී  පෙණුනි.

මෙම ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිවු දෙනෙක් නිර්දේශ ලබා සිටිති.

තරුෂි ජාතික කනිෂ්ඨ වාර්තාව පිහිටු වූ මීටර 800 (කාන්තා) ඉසව්වේ ජය හිමිකරගත් පළපුරුදු ක්‍රිඩිකා ගයන්තිකා අබේරත්න (විනාඩි 2 තත්පර 01.44) ඒ සමගම යළිත් එහි ජාතික වාර්තාවේ හිමිකාරිත්වය අළුත් කළාය.

ශත සංවත්සර ජාතික තරගාවලියේදී වාර්තා වූ සෙසු ජාතික කනිෂ්ඨ වාර්තාවට හිමිකම් කීවේ මීටර 400 කඩුලු කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් මහනුවර උසස් බාලිකා විදුහලේ සිසුවියක් ලෙස  තවමත් කල් ගෙවන අමේෂා හෙට්ටිආරච්චිය.

මෙම ඉසව්වේ රන් පදක්කම ඊ.කේ. මධුෂානි තත්පර 58.73කට දිනා ගන්නා අතර කනිෂ්ට වාර්තාවට හිමිකම් කී අමේෂා විනාඩි 1. තත්පර 00.23කට දෙවැනි තැන ලැබුවාය. ඇයද කොළම්බියා ලෝක කනිෂ්ඨ ශූරතාවලියට නිර්දේශ ලබා සිටින ක්‍රිඩිකාවකි.


අදහස් (1)

ආසියාවේ අංක එක ශ්‍රී ලංකාවේ තරුෂිට
  • Wijerathne Wednesday, 20 April 2022 08:03 AM

    අපි ඔවුන්ට උදව් කළ යුතුයි... ඔවුන්ගේ පවුල්වල ආර්ථික අර්බුදය විසඳන්න ඕනෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.