Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අන්තර්ජාතික තරග 28 කට ශ්‍රී ලංකාවේ ඇස

අන්තර්ජාතික තරග 28 කට ශ්‍රී ලංකාවේ ඇස

editorial - 2024 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උදාවූ 2024 වසරේදී පැරිස් ඔලිම්පික් උළෙල ඇතුළුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි 28ක් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අවධානය යොමු කර ඇත.

ඉන් වැදගත්කම අනුව තෝරා ගත් අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි ගණනාවක් සඳහා ශ්‍රී ලංකාව 2024ට සහභාගිවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. මෙම වසරට යෙදී තිබෙන මීළඟ ඔලිම්පික් උළෙ​ෙල් මලල ක්‍රීඩා තරගාවලිය ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන්නේ අගෝස්තු 1 සිට 11 වැනිදා දක්වාය.

ජාත්‍යන්තරව පිළිගත් මෙම වසරට නියමිත ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලි අතර අගෝස්තු මාසයේදී පේරු රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලියද වේ.

වසර 2019 න් පසුව මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ සාෆ් ක්‍රීඩා උළෙලද ‘ලාහෝර්’ නුවරදී පැවැත්වීම සඳහා මෙම වසරට යොදාගෙන තිබුණත් එය බොහෝ විට ලබන වසරට (2025) කල් යනු ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පසුගිය වසරේදී (2023) හංජෝ ආසියානු ක්‍රීඩා උළෙළ ඇතුළුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි 10කට පමණ සහභාගි වී තිබේ. එහිදී ආසියානු මලල ක්‍රීඩා තරග මාලා හතරකදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් ගණන 23කි. ඉන් හයක් රන් පදක්කම්ය.

මලල ක්‍රීඩා ආයතනය මෙම වසරට ප්‍රධානතම දේශීය මලල ක්‍රීඩා තරගාවලි 11ක් සංවිධානය කිරීමට අපේක්‍ෂා කරයි. පෙබරවාරි 18 වැනිදා පැවැත්වෙන ජාතික ඇවිදීමේ තරගාවලියෙන් මෙවර දේශීය තරගමාලා ආරම්භ වේ.

එහිදී 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ජුනි මාසයේදීත්, 48 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේදීත් කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.

ආසියානු යොවුන් (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් මාර්තු 1 සිට 3 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ පිටියේදීත් ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජුනි 7 සිට 9 වැනිදා දක්වා සුගතදාස පිටියේදීත් අවසන් තේරීම් තරග පැවැත්වීම මේ වන විට සැලසුම් කර ඇත.

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා වැඩිම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කිරීම අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලංකාවට ඒ සඳහා ලබන ජුනි 30 වැනිදා දක්වා නිර්දේශ ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

මේ අතර යෝජිත ලාහෝර් සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ඔක්තෝබර් 12-13 දෙදින සුගතදාස පිටියේදී තෙවැනි තේරීම් තරගාවලිය පවත්වන බවත් මලල ක්‍රීඩා ආයතනය පවසයි.

විශේෂයෙන්ම පැරිස් ඔලිම්පික් උළෙල නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 2024 මලල ක්‍රීඩා තරග දින දසුනට ඉන්දියාව, යුරෝපයේ හා ජපානයේ ග්‍රෝන් ෆ්‍රී තරගාවලි ගණනාවක්ම ඇතුළත් කර ඇත. වසර 2018 දී අවසන් වරට පැවැත්වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමටද සැලසුම් කර ඇත.

මේ අතර මැයි මාසයේදී බහමාස්හිදී පැවැත්වෙන ලෝක සහාය දිවීමේ සැණකෙළියට සහය දිවීමේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගි කිරීමටද ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ. එහි අරමුණ පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමය.


අදහස් (0)

අන්තර්ජාතික තරග 28 කට ශ්‍රී ලංකාවේ ඇස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.