Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අටවැනි වතාවටත් සමස්ත ශූරතාව ගම්පහට
ජාතික යොවුන් ක්‍රීඩා

අටවැනි වතාවටත් සමස්ත ශූරතාව ගම්පහට

editorial - 2023 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (19) නිමාවට පත්වූ 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අටවැනි වරටත් දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය සමත් විය. මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (16) පැවැත්වීමෙන් පසුව එතැන් සිට තෙදිනක් පුරා පැවැති මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත්වීමත් සමඟ  මෙම වසරට නියමිත 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ද පවත්වා අවසන් කෙරුණි.

දිවයිනේ දිස්ත්‍රික් හා කලාප 26 ක් මෙවරත් ක්‍රීඩා උළෙලට තරග වැදුණි. එහිදී මෙවරත් පහසුවෙන්ම සමස්ත ශූරතාව ලකුණු 166 කට ගම්පහ දිස්ත්‍රික්කය දිනා ගනිද්දී අනුශූරතාව කොළඹ දිස්ත්‍රික්කයට මෙවරත් හිමිවිය. ඒ ලකුණු 96 කටය. කොළඹ දිස්ත්‍රික්කයටම අයත් වෙනම කලාපයක් ලෙස තරග වදින නාගරික තරුණයා ලකුණු 77 කට මෙවර තෙවැනි ස්ථානය ලැබීය.

ක්‍රීඩා උළෙලේදී නව මලල ක්‍රීඩා තරග වාර්තා අටක් බිහිවිය. රුපියල් 250000 ක් බැගින් ත්‍යාග මුදල් හිමි වන ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා දක්‍ෂතම ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් දෙදෙනා මෙවරත් වයස 20 න් පහළ හා 20 න් ඉහළ කාන්තා හා පිරිමි ලෙස තෝරා ගැනුණි.

එහිදී වයස 20න් පහළ දක්‍ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස තෙරුණේ අයොමාල් අකලංක (නුවරඑළිය) හා ඔෂිනි කොඩිකාර (නාගරික තරුණයා) විසිනි.

එහිදී වයස 20 න් ඉහළ දක්‍ෂතම ක්‍රීඩකයාට තේරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ අයි.ජේ.ජී. ලක්විජයයි. බී.එස්. ලක්‍ෂිමා වයස 20 න් ඉහළ දක්‍ෂතම ක්‍රීඩිකාවට රුපියල් 250000ක් හිමිකර ගත්තාය. ජයග්‍රාහී රත්නපුරය දිස්ත්‍රික්කයට රුපියල් 200000 ක්ද, අනුශූරතා ලාභී කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් 150000 ක්ද හා තෙවැනි ස්ථානය ලද නාගරික තරුණයා කලාපයට රුපියල් ලක්‍ෂයක්ද උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා උළෙලේ සත්කාරක ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා අතින් ප්‍රදානය කෙරුණි.

මෙවරත් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා පිහිටුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුට රුපියල් දස දහස බැගින්ද, කණ්ඩායම් ක්‍රීඩා ශූරතා අනුශූරතා හා තෙවැනි ස්ථානලාභී කණ්ඩායම වෙත රුපියල් 35000 ක් 30000 ක් හා 25000 ක් බැගින්ද ප්‍රදානය කළ බව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ටී. අනිල් සිරිවර්ධන මහතා පවසයි.

ඊයේ පැවැති සමාප්ත උත්සවය සංස්කෘතික හා සංගීත විශේෂාංග රැසකින් අලංකාර විය.


අදහස් (0)

අටවැනි වතාවටත් සමස්ත ශූරතාව ගම්පහට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.