Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා නිලවරණය දින 90 කට කල් දාන්න ඉල්ලීමක්

මලල ක්‍රීඩා නිලවරණය දින 90 කට කල් දාන්න ඉල්ලීමක්

editorial - 2025 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සදුදා (18) පෙරවරු 10 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (2025 - 27) නිලවරණය දින 90 කට අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් විධායක සභාව යෝජනාවක් සම්මත කර තිබේ.

එම යෝජනාව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට යොමු කරමින් මලල ක්‍රීඩා විධායක සභාව ප්‍රකාශ කර ඇත්තේ සඳුදා කැදවීමට නියමිත නිලවරණය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් එය තාවකාළිකව අත්හිටුවීම සුදුසු බවයි.

මලල ක්‍රීඩා විධායක සභාව ක්‍රීඩා ඇමැතිවරයාට එම ලිපිය යොමු කර සිටින අතර ක්‍රීඩා සමාජ හා අනු සංගම් 21 ක පමණ නියෝජිතයන් පිරිසක් නිලවරණය යොදා ගත් පරිදිම සදුදා කැදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා තවත් ලිපියක් ඔහුට යොමු කර තිබේ. සභාපති අපේක්ෂක සුනිල් ගුණවර්ධන මහතාට සහය පළ කර සිටින බව කියන සංගම් නියෝජිතයෝ පිරිසක් ඊට අත්සන් තබා ඇතැයිද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා ලංකාදීප ය කළ විමසුමකදී පැවැසුවේ නිලවරණ කමිටුවේ සාමාජික, හිටපු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී.වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කිරීමට මලල ක්‍රීඩා ආයතනය තීරණය කළ බවයි.   එම ඉවත් කිරීමේ ලිපිය ඔහුට යොමු කරන බවත් මලල ක්‍රීඩා නිලවරණ කමිටුව නිර්දේෂ කළේ මලල ක්‍රීඩා ආයතනය බැවින්  සුදුසුකම් පිළිබදව ගැටළුවකට මුහුණදී සිටින වික්‍රමසිංහ මහතා කමිටුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ප්‍රධාන ලේකම් ධූරයට ඉදිරිපත් වීමේදී නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණු වෛද්‍ය ධම්මික සේනානායක මහතා ඊට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට අභියාචනා උපදේශක කමිටුවට විරෝධතාවක් බාරදී තිබේ. ඒ  අතර සභාපති අපේක්ෂක සුනිල් ගුණවර්ධන මහතාට හා නිලවරණ කමිටුවේ සාමාජික ආර්. බී. වික්‍රමසිංහ යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ  විරෝධතා දෙකක්ද සළකා බැලීම අභියාචනා කමිටුව එදින ආරම්භ කළේය. එහි නිගමන ඊයේ දිනයේදීත් ප්‍රකාශ නොවුණි. 

2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මාලාවට අනුව එහි 14 ඒ 5 වගන්ති මාලාවේ 11 වගන්තියේ දැක් වෙන්නේ අභියාචනා පිළිබදව තීරණය වැඩ කරන දින10 ක් ඇතුළත ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

එහි 12 වැනි වගන්තියට අනුව නිලවරණ කමිටුව විසින් අවසන් නාම යෝජනා ලේඛනය ජාතික සංගමය මගින් සියළුම අනු සංගම් වෙත යැවිය යුතු අතර ජාතික සංගමය විසින් සියළුම අනු සංගම් වෙත අවම වශයෙන් දින 14 කට කළින් දැනුම් දීමක් සිදු කර වාර්ෂික මහ සභා රැස්වීමේදී නිලවරණය පැවැත්විය යුතුය යනුවෙන් දක්වා ඇත.

එම ක්‍රීඩා සංගම් රෙගුලාසි වලට අනුකූලව මලල ක්‍රීඩා නිලවරණය සදුදා පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි මලල ක්‍රීඩා ලේකම්වරයා පවසයි. 

ඒ අතර සුදුසුකම් පිළිබදව කරුණු පහැදිළි කිරීමක් ඉල්ලා නිලවරණ කමිටුවේ සාමාජික ආර්.බී.වික්‍රමසිංහ මහතාගෙන් මලල ක්‍රීඩා ආයතනය කළ දැනුම්දීමට ඔහු ඊයේ වන තෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද මලල ක්‍රීඩා ලේකම්වරයා වැඩි දුරටත් පැවැසීය.

ඒ අතර වික්‍රමසිංහ මහතා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශය නියෝගයක් ලබාදීම හැරෙන්නට සදුදා යොදා ගෙන තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය කල් දැමීමට නිලවරණ කමිටුවේ කිසිදු අදහසක් නැති බවයි. කෙසේවූවත්  නිලවරණය සදහා යොදා ගන්නා ක්‍රීඩා සංගම් නිල නාම ලේඛනය ඊයේ වන තෙක් නිලවරණ කමිටුවට ලැබී නොතිබුණු බවත් නිලවරණය පැවැත්වෙන ශාලාවේ සදුදා වෙන් කරවා ගැනීම අවලංගු කර ඇතැයිද මේ අතර වාර්තා වෙයි.

 


අදහස් (0)

මලල ක්‍රීඩා නිලවරණය දින 90 කට කල් දාන්න ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.