Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂි එන්න බෑම කියයි
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය

තරුෂි එන්න බෑම කියයි

editorial - 2025 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ගුමි නුවරදී මැයි 27 සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා තමන් ස්ථිර වශයෙන්ම සහභාගි නොවන බව  ඇමැරිකාවේ වෙසෙන  ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට නිල වශයෙන් දැනුම්දී තිබේ. ආසියානු රන් පදක්කම්ලාභි ක්‍රීඩිකාවක වන තරුෂි මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටී. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ තරුෂි කරුණාරත්න විසින් මලල ක්‍රීඩා ආයතනයට යොමු කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ජූනි මාසයට කල් දමන ලද දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට  සහභාගි නොවීමට ද තරුෂි තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධාන ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට අනුව ඇමැරිකාවේ නේවාසිකව වෙසෙමින් මේ දිනවල තමන් ගත කරන කාර්‍ය්‍යබහුල දිවිය හේතුවෙන් ආසියානු ශූරතා තරගාවලියට සහභාගි නොවූවත් එම තත්වයෙන් මිදුණු වහාම නැවැත ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග මාලා සදහා සහභාගිවීමට තමා දැඩි උද්යෝගයෙන් පසු වන බවද ඇය දැනුම්දී තිබේ.

2023 බැංකොක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී දැඩි අවධානයක් දිනා ගනිමින් ඇය මීටර 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම විනාඩි 2.තත්පර 00.66 කට දිනා ගත්තේ නව ආසියානු ශූරතා වාර්තාවක්ද පිහිටුවමිනි. එහිදීම ඇය මිටර 4 ×400 සහය දිවීමේ ඉසව්වෙන් හා එහි මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් දිනාදීමට දායක වූවාය.

ඊට පෙර 2022 හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ඇය සිය ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.  තරුෂි ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට ප්‍රබල කාරණාවක් වූයේ ඇය ඒ වන විට 18 හැවිරිදි වියේ පසුවූ  වන උසස් පෙළ හදාරන පාසල් සිසුවියක් වීමය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලිය වන්නේ පසුගිය වසරේ (2024) ජූලි - අගෝස්තු අතර කාල සීමාවේ පැරිස් නුවරදී පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙලයි.

ඒ සදහා අවසන් මොහොතේදී ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් සුදුසුකම් ලබාගත් ඇය පැරීසියේදී මීටර 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයේ තරග දෙකකට සහභාගි වූවාය. එහිදී පළමු මූලික තරගයෙන් විනාඩි 2 තත්පර 07.76 ක කාලයකට අට වැනි ස්ථානයද හා දෙවැනි  වටයේ තරගයෙන් විනාඩි 2 තත්පර 06.66 ක කාලයකට හත් වැනි ස්ථානයද ලැබුවාය.

පැරිස් ඔලිම්පික් උළෙලින් පසුව උසස් අධ්‍යාපන කටයුතු හා වැඩිදුර පුහුණුවීම්  සදහා ඇය ඇමරිකාව බලා පිටත්ව ගියාය.


අදහස් (0)

තරුෂි එන්න බෑම කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.