Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද ඇරඹේ

ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද ඇරඹේ

editorial - 2025 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික තරුණ සේවා සභාව නව ආරකින් මෙවර සංවිධානය කරන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලෙන් වයස 20 න් ඉහළ කාන්ඩය ඉවත් කර තිබේ. ඒ වෙනුවට මෙවර මලල ක්‍රීඩා ඉසව් වයස 20 න් පහළ කාන්ඩයෙන් පමණක් පැවැත්වේ.

වයස15 න් පහළ සිට 29 න් පහළ තෙක් වන යෞවන යෞවනීයන්ට විවෘත ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග වලදී වයස 20 න් ඉහළ කාන්ඩය පළමු වතාවට ඉවත් කර තිබේ.

35 වැනි වතාවටත් පැවැත්වෙන ජාතික යොවුන් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී එය අවසන් කෙරෙන මලල ක්‍රීඩා තරගාවලිය ලබන දෙසැම්බර් 19 - 20 - 21 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කෙසේවූවත් මෙවර යොවුන් ක්‍රීඩා උළෙලට පළමු වතාවට පිහිනුම්, බැඩ්මින්ටන් හා චෙස් යන ක්‍රීඩා ඉසව් හදුන්වාදී තිබේ.

කණ්ඩායම් ක්‍රීඩා ඉසව් අද (26 වැනිදා) පස්වරු 2.00 ට ගම්පහ වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේදී යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ක්‍රීඩා හා යොවුන් කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධාන අධීක්ෂණයෙන් මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නේවාසික පහසුකම්, ආහාර, ගමන් හා පෝෂණ දීමනා රැසක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) අනිල් සිරිවර්ධන මහතා පවසයි.

ක්‍රීඩා උළෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, දිස්ත්‍රික් හා ජාතික යන පරිදි අදියර තුනකින් මෙවරත් සංවිධානය කෙරේ. එහි සංවිධාන කටයුතු සූදානම් කිරීමේදී ජාතික තරුණ සේවා සභාවට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගය ලැබේ.

මලල ක්‍රීඩා ඉසව් හැරෙන්නට කණ්ඩායම් ක්‍රීඩා ඉසව් 14 ක් ක්‍රීඩා උළෙලට අන්තර්ගත වේ. ඒ අනුව බැඩ්මින්ටන්, කබඩි, කැරම්, වෙරළ වොලිබෝල්, චෙස්, පාපන්දු, කඹ ඇදීම, වොලිබෝල්, පිහිනුම්, දැල්පන්දු, සැහැල්ලු පන්දු ක්‍රිකට්, පැසිපන්දු, එල්ලේ සහ මැරතන් යන කාන්තා හා පිරිමි ඉසව් එහිදී ලබන නොවැම්බර් 2 වැනිදා සිට වතුපිටිවල, කොළඹ ටොරිංටන්, හෙයියන්තුඩුව තරුණ සේවා, මාලබේ රයිසින් ස්ටාර්, මහරගම තරුණ සේවා, බදුල්ල වින්සන්ට් ඩයස්, සබරගමුව පළාත්, පොළොන්නරුව මහජන, කුරුණෑගල ශාන්ත ආනා, කුරුණෑගල ජාත්‍යන්තර පාසල්, කුරුණෑගල මලියදේව, කුරුණෑගල වයඹ රාජකීය විදුහල්, බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ යන  එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මැරතන් කාන්තා හා පිරිමි ඉසව් දෙසැම්බර් 6 -7යන දිනවල මහරගමදී පැවැත්වීමට නියමිතය.

ජාතික යෞවන ක්‍රීඩා උළෙලට දිවයිනේ යෞවන සමාජිකත්වය හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිස්ත්‍රික් හා කලාප 26 කින් තරග වදිති.


අදහස් (0)

ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.