Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ක්‍රීඩා උළෙලේ සත්කාරයට පළාත් වෙතින් ලංසු කැඳවයි

ජාතික ක්‍රීඩා උළෙලේ සත්කාරයට පළාත් වෙතින් ලංසු කැඳවයි

editorial - 2021 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර දෙකක්ම පැවැත්වීමට නොහැකි වී තිබෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේ සත්කාරය සඳහා මින් ඉදිරියට පළාත් වෙතින් ලංසු කැඳවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැරසේ.

ක්‍රීඩා අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජාතික මහ ක්‍රීඩා උළෙල රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන වසරේ ප්‍රධානතම ක්‍රීඩා උළෙලද වේ. පසුගිය වසරේදී හා මෙම වසරේදී (2020-2021 මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ රට තුළ උද්ගතව පවතින කොවිඩ් වසංගතයට මෙතෙක් පිළියමක් ලැබී නොමැති බැවිනි.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අපේක්ෂා කරන නව ක්‍රමය යටතේ එක් වසරක් ක්‍රීඩා උළෙලේ සත්කාරය අමාත්‍යාංශය ඍජුව දරන අතර ඊළඟ වසරේ සත්කාරය සඳහා පළාත් වෙතින් ලංසු කැඳවන බවයි. මෙහිදී ලංසු කැඳවීම යනුවෙන් අදහස්  කෙරෙන්නේ ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා පළාතක් ඉදිරිපත් වීමේදී මනාපයට වඩාත්ම සුදුසුකම් ඉදිරිපත් කර සිටීමයි.

“ඒ අනුව ක්‍රීඩා උළෙලේ සත්කාරය සඳහා නිර්දේශ කෙරෙන පළාතට අවශ්‍ය වන සියලු යටිතල පහසුකම් වියදම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත. මේ ක්‍රමයෙන් පළාත්වල ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම වේගවත් වෙනවා. ඒ වගේම ක්‍රීඩා උළෙලේ මෙහෙයවීම හා අධීක්ෂණය ක්‍රීඩා අමාත්‍යාංශයට තවදුරටත් පැවරෙනවා. වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මේ ක්‍රමය ඉදිරියේදී අත්හදා බලන්න අප කටයුතු කරනවා“ යැයිද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ජාතික මහ ක්‍රීඩා උළෙලේ පැවති ආසන්නතම වසරවල වියදම දළ වශයෙන් රුපියල් කෝටි 22 කට ආසන්නය. අවසන් වරට 2019 දී පැවැති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල සඳහා එවැනි වියදමක් දරා තිබේ.

1972 දී ආරම්භ වූ ජාතික මහ ක්‍රීඩා උළෙල අදියර හතරක් යටතේ සංවිධානය කිරීම වත්මන් පිළිවෙතයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික්, අන්තර් පළාත් හා ජාතික තරගාවලිය එම අදියර හතරයි. ජාතික තරගාවලියට මලල ක්‍රීඩා ඉසව් ප්‍රධාන වශයෙන් ඇතුළත් වන අතර 2019 ක්‍රීඩා උළෙලට ඇතුළත් වූ මුළු ක්‍රීඩා ඉසව් ගණන 28ක් විය.

එම ක්‍රීඩා ඉසව් බහුතරයක් වසර ආරම්භයේ සිට වෙන වෙනම පවත්වා  අවසන් කරයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරගාවලිය සඳහා රැපියල් ලක්ෂයක් බැගින්ද දිස්ත්‍රික් තරගාවලයක් සඳහා රැපියල්  ලක්ෂ දෙක බැගින් හා පළාත් තරගාවලියක් සඳහා රැපියල් ලක්ෂ තුනක් බැගින් ද වන පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට ප්‍රතිපාදන ලබාදේ.
වර්ෂ 1983 ජූලි කලබල හේතුවෙන් ජාතික ක්‍රීඩා උළෙල නොපැවැත්විණ. 1983 න් පසුව ජාතික ක්‍රීඩා උළෙල පිට පිටම නොපැවැත්වුණු වසර දෙකක් ලෙස 2020 හා 2021 ඉතිහාසගතවේ.

ජාතික මහ ක්‍රීඩා උළෙල ලෙස උත්කර්ෂවත් ලෙස සංවිධාන කෙරෙන ජාතික තරගාවලිය පළාත් නවයෙන් ජාතික තරගාවලියට සුදුසුකම් ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 


අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙලේ සත්කාරයට පළාත් වෙතින් ලංසු කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.