Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඇවීදීම - මැරතන් - පාපැදි තරග 19 -20 හික්කඩුවේදී

ඇවීදීම - මැරතන් - පාපැදි තරග 19 -20 හික්කඩුවේදී

editorial - 2025 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරට (2025) නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් - ඇවිදීම - පාපැදි තරග මාලාව සෙනසුරාදා හා ඉරිදා (19 - 20) ගාල්ල හික්කඩුවේදී පැවැත්වේ.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙල සදහාත් ක්‍රීඩා ඉසව් 33 ක් ඇතුළත් වන අතර ඉන් රට හරහා දිවීමේ තරග ඉසව්ව පමණක් දැනට පවත්වා අවසන් කර තිබේ.එම ක්‍රීඩා ඉසව් අදියර කීපයකින් පවත්වා අවසන් කෙරේ.

ඒ අනුව ඉහත ක්‍රීඩා ඉසව් හැරෙන්නට වොලිබෝල් ක්‍රීඩා ඉසව්ව ජූලි 17 සිට 20 වැනිදා දක්වා දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදීත්, කඹ ඇදීම ක්‍රීඩා ඉසව්ව ජූලි 18 - 19 දෙදින එහිදීමත් ක්‍රිකට් (සැහැල්ලු‍ පන්දු) ක්‍රීඩා ඉසව්ව ජූලි 18 -19 - 20 යන දිනවල හික්කඩුව නගර සභා පිටියේදීත්,දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩා ඉසව්ව ජූලි 18 - 19 - 20 යන දිනවල මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණ  ගෘහස්ථ පිටියේදීත් පැවැත්වීමට නියමිතය.

මේ අතර හික්කඩුව නගරයේදී සෙනසුරාදා (19) පෙරවරු 5.30 ට ආරම්භ වන මැරතන් කාන්තා හා පිරිමි ඉසව් ආරම්භ වේ.ඒ සදහා එක් පළාතකින් ක්‍රීඩකයන් 10 දෙනෙකු හා ක්‍රීඩිකාවන් හය දෙනෙකු බැගින් නිර්දේශ ලබා තිබේ.

එදිනම පාපැදි ( පිරිමි - රේසින්) තරගය පෙරවරු 9 ට හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වේ.මෙම එක් දින (වට) තරගයේ මුළු දුර කිලෝමීටර 164.4 ක් තරම් ඉහළ දිගුවකින් යුක්තය. හික්කඩුව - රත්ගම - බූස්ස - කලේගාන - කරාපිටිය - ලබුදුව - ඉහළ කිහීඹිය - වදුරඹ - බද්දේගම - ගෝනූපීනූවල  හරහා නැවැත හික්කඩුව තෙක් වට තුනක් ගොස් (එක් වටයක දුර කිලෝමීටර 55.8) පිරිමි පාපැදි ඉසව්ව නිමාවට පත්වේ.

පාපැදි (කාන්තා - රේසින්) ඉසව්ව එදින පස්වරු 2 ට ආරම්භ වන අතර ඉහත ධාවන මාර්ගයේම එක් වටයක් සම්පූර්ණ කිරීමෙන් එය නිමාවට පත්වේ.එම කාන්තා හා පිරිමි පාපැදි ඉසව් දෙකට සියලු පළාත් නියෝජනය කරමින් පිළිවෙළින් ක්‍රීඩකයෝ 90 දෙනෙක් හා ක්‍රීඩිකාවො 56 දෙනෙක් නිර්දේශ ලබා සිටිති.

මෙවර ජාතික මහ ක්‍රීඩා පාපැදි තරගාවලියේ වෙනස්කමක් වන්නේ මෙතෙක් පැවැති ස්ටෑන්ඩඩ් කාන්තා හා පිරිමි ඉසව් දෙකම ඉවත් කර තිබීමයි.ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ  සංගමය එහි විනිශ්චය කටයුතු මෙහෙයවයි.

ඉරිදා (20) පෙරවරු 6 ට ආරම්භ වන ඇවිදීමේ කාන්තා හා පිරිමි ඉසව් සදහාද දිවයිනේ එක් පළාතකින් තරගකරුවන් 10 දෙනෙකු හා තරගකාරියන් හය දෙනෙකු බැගින් සභභාගි වීමට නියමිතය.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ වැය කිරීම් සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25 ක් වෙන් කර තිබෙන බව වාර්තාවේ. අදියර කීපයකින් ක්‍රීඩා ඉසව් පවත්වා අවසන් කිරීමෙන් පසුව අගෝස්තු 29 - 30 - 31 යන දිනවල ගාල්ල දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී එහි ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව වන මලල ක්‍රීඩා ඉසව්ව හා සෙසු ක්‍රීඩා ඉසව් කීපයක අවසන් වටයේ හා අවසන් මහ තරග පැවැත්වීමෙන් 2025 ජාතික මහ ක්‍රීඩා උළෙල නිමාවට පත්වේ.

වසරේ රාජ්‍ය අනුග්‍රාහයෙන් පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වන ජාතික මහ ක්‍රීඩා උළෙල අදියර හතරකින් සම්පූර්ණ කෙරේ.ඒ පිළිවෙළින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස - දිස්ත්‍රික් - පළාත් හා ජාතික යන අදියරයි.

ඇවිදීම - මැරතන් - පාපැදි  තරගමාලාව සදහා නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම මෙවරත් අනුග්‍රහය දක්වයි. එහිදී සියලුම කාන්තා හා පිරිමි ඉසව්හි 10 වැනි ස්ථානය තෙක් ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ප්‍රදනය කෙරේ.


අදහස් (0)

ඇවීදීම - මැරතන් - පාපැදි තරග 19 -20 හික්කඩුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.