Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් - සී.ආර්. තීරණාත්මක තරගයක

හැව්ලොක්ස් - සී.ආර්. තීරණාත්මක තරගයක

යොහාන් භාසුර - 2020 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන රග්බි තරගාවලියේ හයවැනි සති අන්තයේදී හැව්ලොක්ස් පිල සහ සී. ආර්. පිල අතර තරගය කෙරේ අවධානය යොමුවෙයි. මෙම තරගය හැව්ලොක්ස් පිටියේදී සෙනසුරාදා (11) පැවැත්වේ.

හැව්ලොක්ස් සහ සී. ආර්. යන කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 22 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටිති. හැව්ලොක්ස් පිල උත්සාහක දිනුමක් ඉදිරියෙන් සිටීම නිසා දෙවැනි ස්ථානය හිමිව තිබේ. එබැවින් හෙට පැවැත්වෙන හැව්ලොක්ස් - සී.ආර්. තරගයෙන් ජය ලබන කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමේ අවස්ථාව ලැබේ.

මිතුන් හපුගොඩ නායකත්වය දරණ හැව්ලොක්ස් පිලට ද ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩයම නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටිති. එහෙත් සී. ආර්. පිලටද ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

නායක ඔමල්ක ගුණරත්න, කවිඳු ද කොස්තා, චානක චන්දිමාල්, සඳුන් හේරත්, ජනිඳු ඩිල්ෂාන්, ගැමුණු චේතිය, රීසා මුබාරක්, කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් යන ප්‍රබල ක්‍රීඩකයෝ සී. ආර්. පිල නියෝජනය කරති. මෙම තත්ත්වය යටතේ සී. ආර් පිල පාලනය කිරීමට හැව්ලොක් පිලට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනවාට සැක නැත.

හයවැනි සතියේ තරග ආරම්භ කරමින් ගුවන් හමුදාව සහ පොලිසිය අතර හෙට (10) පැවැත්වෙන තරගයටද තරමක අවධානයක් හිමිවී තිබේ. මෙවර තරගාවලියේ මේ දක්වා පෙරළිකරු බවට පත්ව සිටින පොලීසියට මෙම තරගය ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබේ.

සහභාගි වූ තරග පහම ජය ලබා අපරාජිතව සිටින මහනුවර පිල සහ සී. එච්. පිල අතර තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී සෙනසුරාදා (11) පස්වරුවේ පැවැත්වේ.

මහනුවර පිලේ මේ වන විට ඉලක්කය බවට පත්ව ඇත්තේ සිය ප්‍රබල ක්‍රීඩකයන් ආරක්‍ෂාකරගනිමින් අතිරේක ප්‍රසාද ලකුණ ද සමගින් ඉදිරි තරග ජය ලැබීමය. ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනකු ආබාධයන්ට ගොදුරුව සිටිය ද මහනුවරට නමගිය ක්‍රීඩකයන්ගෙන් අඩුවක් නැත.

ඇමරිකානු ජාතික විනිසුරු ජොනතන් මාක්කොවිට්ස් මහතා මෙම සතියේ වැලිසරදී පැවැත්වෙන තරගයේ සහ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගයේදී විනිසුරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

හොංකොංහි පදිංචිකරුවකු වන විනිසුරු මාක්කොවිට්ස් මහතා වෘත්තියෙන් ගුවන් නියමුවෙකි.

සිකුරාදා (10) පැවැත්වෙන තරග
● ගුවන් හමුදා පිල සහ පොලිස් පිල අතර රත්මලානේදී
● නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර වැලිසරදී
සෙනසුරාදා (11) පැවැත්වෙන තරග
● සී. එච්. පිල සහ මහනුවර පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී
● හැව්ලොක්ස් පිල සහ සී. ආර්. පිල අතර හැව්ලොක්ස් පිටියේදී


අදහස් (0)

හැව්ලොක්ස් - සී.ආර්. තීරණාත්මක තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.