Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති

ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බාරගත් ඉන්දියානු පිතිකරුවෝ ඕවර 28.5 කදී සිය ඉලක්කය කරා අවතීර්ණ වෙමින් කඩුලු 9 ක පහසු ජයක් ලබාගත්හ.


මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත් විය.

ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල  - ක.මු.කළා ප.ජාදව් 64
ධනුෂ්ක ගුණතිලක - ඇ.රාහුල් ප.චහාල් 35
කුසල් මෙන්ඩිස්  - ප.පතෙල් 36
උපුල් තරංග - ඇ.ධවාන් ප.ජාදව් 13
ඇන්ජලෝ මැතිව්ස්  - නොදැවී  36
චාමර කපුගෙදර - දුවද්දී දැවී ගියා 1
වනි‍ඳු හසරංග - ඇ.ජාදව් ප.පතෙල් 2
තිසර පෙරේරා - ප.බුම්රා 0
ලක්ෂාන් සඳකැන්  - ක.මු.කළා ප.පතෙල් 5
ලසිත් මාලිංග  - ස්ට. දෝනි ප.චහාල්  8
විශ්ව ප්‍රනාන්දු  - ප.බුම්රා 0
අතිරේක 16
එකතුව ඕවර 43.2 කදී සියලු දෙනා දැවී  216
කඩුලු වැටීම 
1-74(ගුණතිලක), 2-139(දික්වැල්ල), 3-150(මෙන්ඩිස්), 4-166(තරංග), 5-169(කපුගෙදර), 6-176(හසරංග), 7-178(තිසර), 8-187(සඳකැන්), 9-209(මාලිංග), 10-216(විශ්ව)
පන්දු යැවීම
බුවනේෂ්වර් කුමාර් 6-0-33-0  
හර්දික් පාණ්ඩ්‍යා 6-0-35-0  
ජස්ප්‍රීට් බුම්රා 6.2-0-22-2  
යුස්වේන්ද්‍ර චහාල් 10-0-60-2  
කේදර් ජාදව් 5-0-26-2  
අක්ෂර් පතෙල් 10-0-34-3  
ඉන්දියාව
රෝහිත් ෂර්මා  - දුවද්දී දැවී ගියා 4
ෂිකාර් ධවාන්  - නොදැවී  132
විරාට් කෝලි - නොදැවී  82
අතිරේක 2
එකතුව ඕවර 28.5 කදී කඩුල්ලක් ක් දැවී  220
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ලෝකේෂ් රාහුල්, මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, හර්දික් පාණ්ඩ්‍යා, අක්ෂර් පතෙල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට්  බුම්රා සහ යුස්වේන්ද්‍ර චාහල්
කඩුලු වැටීම 
1-23(රෝහිත් ෂර්මා), 
පන්දු යැවීම
ලසිත් මාලිංග 8-0-52-0  
විශ්ව ප්‍රනාන්දු 6-0-43-0  
ඇන්ජලෝ මැතිව්ස් 2-0-09-0  
තිසර පෙරේරා 2-0-18-0  
ලක්ෂාන් සඳකැන් 6-0-63-0  
වනිඳු හසරංග 4.5-0-35-0  
තරගයේ වීරයා  - ෂිකාර් ධාවන්

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 4 කට දුවද්දී දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 197 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂිකාර් ධවාන් (නොදැවී 132) සහ විරාට් කෝලි (නොදැවී 82) තම පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. යන්තම් හෝරා දෙකක කාලයක් කඩුල්ලේ රැඳී සිටි ෂිකාර් ධවාන් පන්දු 90 කට මුහුණ දෙමින් ලබාගත් ලකුණු 132 ට හතරේ පහර 20 ක් සහ දැවැන්ත හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

එහෙත් ශ්‍රී ලංකා ඉනිම පුරා පිතිකරුවන් 11 දෙනෙකුට ගැසිය හැකිවූයේ හතරේ පහර 18 ක් සහ හයේ පහර දෙකක් පමණි.

කඩුලු 8 ක් ඉතිරි කරමින් ඕවර 25 කදී ලකුණු 141 ක් පුවරුවට දමා දුන්නද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවෝ යා යුතු මාවත සොයාගත නොහී වල්මත් වූහ. මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 216 කට දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 36 කට දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 66 කදී ඇද වැටිණ. තරගයේ 28 වැනි ඕවරය ආරම්භ වන විට කඩුලු 2 කට 150 ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුව හෝරාවකට මඳක් වැඩි කාලයකදී සියලු දෙනා දැවී 216 ක් ලෙසින් සටහන් විය.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා පිල වැටුණු අගාධයෙන් ගොඩගැනීමට ඔහු අසමත් වූයේය. අටවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ලසිත් මාලිංග සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමේ වෑයමක නිරත වූ නමුත් ඒ වන විට අවශ්‍ය තරමට වඩා ප්‍රමාද වී තිබිණ. 28 වැනි ඕවරයෙන් පසුව ඕවර 15.2 කදී ශ්‍රී ලංකා පිලට එක්වූයේ හතරේ පහරක් සහ හයේ පහර දෙකක් පමණි.

කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසුව පිටියේ එක්වූ, දැනට කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු එක්දින පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග අතර සම්බන්ධතාව පැවතියේ ඕවර 5 ක් පමණි.

කේදර් ජාදව්ගෙන් පිත්තටම ලැබුණු පන්දුවකට උපුල් තරංග ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව වයිඞ් ලෝන්ග් ඕන්හි සිටි ෂිකාර් ධවාන් රැකගත්තේ ලකුණු 27 ක් තුළ තුන්වැනි කඩුල්ලත් බිම දමමිනි. එතැන් සිට සිය ග්‍රහණය දැඩිකළ ඉන්දියානුවෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගෙළ මිරිකා දැමූහ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 14 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ගුණතිලක දැවී ගියද කුසල් මෙන්ඩිස් සමගින් එක්වූ කඩුලු රකින්නා දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට පදනම දමමිනි.

කේදර් ජාදව්ගේ පන්දුවකින් දැවී යන විට මුහුණ දුන් පන්දු 74 න් 8 ක් හතරේ සීමාවට යැවූ දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය ජවය එක්කර තිබිණ. මැද පෙළ පිතිකරුවන්ට තිබුණේ එය පවත්වාගෙන ඉදිරියට යාම පමණක් වුවද ඔව්හු අඳුරේ අතපත ගාන්නවුන් මෙන් නිස්කාරණේ දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ඉන්දීය පිලේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී විරාට් කෝලි පිට පිටම කාසියේ වාසිය දිනාගත් සිවුවැනි අවස්ථාව මෙයයි.

තිසර පෙරේරා නැවතත් කණ්ඩායමට කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විශ්ව ප්‍රනාන්දුට එක්දින හිස්වැස්ම තිළිණ කළේය.

ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල් මෙන්ම ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වූ උපුල් තරංගද මෙම තරගයේදී මැද පෙළ පිතිකරුවෝ ලෙස කටයුතු කරති. ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ මහේන්ද්‍ර සිං දෝනි අද තරගය සඳහා එක්වී සිටින අතර ටෙස්ට් තරගාවලියේ අවස්ථාවක් නොලද රෝහිත් ෂර්මා ඉන්දිය පිලේ ආරම්භක පිතිකරුවා වී සිටී.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු එක්දින තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.