Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව SL in BNG Series අපට පසුපෙළ ක්‍රීඩකයන් ඉන්නවා

අපට පසුපෙළ ක්‍රීඩකයන් ඉන්නවා

යොහාන් භාසුර - 2019 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන ගන්න පසු පෙළින් දස්කම් අතර සිටින ක්‍රීඩකයන් රැසක් සිටීම අපේ ක්‍රිකට් අනාගතයට වඩාත් සුබදායි තත්ත්වයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න ඊයේ (31) පැවසීය. 

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනම ජය ලැබීමෙන් පසුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.   

“කණ්ඩායමට එන්න අවස්ථාව නොමැතිව තවත් ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක වැනි ගොඩක් ක්‍රීඩකයො ඉන්නවා. අපිටත් අවශ්‍ය ඒ තරගකාරිත්වය හදන්නයි. ක්‍රීඩකයෙක්ට දස්කම් දක්වන්න පීඩනය දාන්න ඕනේ. තවත් ඒකෙන් තල්ලුවක් දාන එක වෙන්න ඕනේ. එහෙම පසු පෙළක් නොමැති වීම ඒකයි අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ”

“ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජනය ගන්න සියලුම ක්‍රීඩකයො සූදානමින් ඉන්නවා. ඇත්තටම ගොඩක් සතුටුයි. මේ තරගයේදී ක්‍රීඩා කළ හතර දෙනාම ලැබුණු අවස්ථාව හොඳටම ප්‍රයෝජනයට ගත්තා”

“ක්‍රීඩකයන් ගොඩක් එළියෙ බලාගෙන ඉන්නවා ඇතුළට එන්න. බෙන්ච් එකේ ඉන්න අයත් හොඳට ක්‍රීඩා කරන නිසා ක්‍රිඩා කරන එකොළොස්දෙනාටත් පීඩනයක් එනවා”

“හොඳ ක්‍රීඩකයන් රැසක් පසු පසින් සිටීම ගොඩක් හොඳ දෙයක්. මම හිතනවා මේ කණ්ඩායමත් සමඟ මට ඉදිරියට යන්න පුළුවන් කියලා”

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායමේ වර්ධනයට හේතුව දිමුත් මෙසේ පැහැදිළි කළේය. 

“අපි ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේදී දුර්වල වුණාට අවසන් තරගවලදී හොඳින් ක්‍රීඩා කළා. අපි අවසන් අවුරුදු කීපයේ හොඳට ක්‍රීඩා කරලා නොතිබුණු නිසා පීඩනය තමයි අපිට තිබුණේ. ඒ නිසා ක්‍රීඩකයන්ගේ ආත්මවිශ්වාසය අඩු වෙලා තිබුණා. නමුත් දැන් ඒක වෙනස් වෙලා තියෙනවා”

“ඇන්ජලෝ සහ මෙන්ඩිස් ඇතුළු සියලුම පිතිකරුවෝ මේ සංචාරයේදී හොඳට පන්දුවට පහර දුන්නා. ෂෙහාන් ජයසූරිය, ඉන්දියාවේදී හොඳ සංචාරයක් අවසන් කරලා ආවේ. ඒ වගේම ළහිරු ඉන්නවා, දසුන් ශානක ඉන්නවා. තිසර ඒ සියලු දෙනාම තරග කරන්න ඕනේ ස්ථානය ගන්න”

“මෙම තරගාවලිය අපි ගොඩක් හොඳට අවසන් කළා. පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම දස්කම් දැක්වුවා. මේ ලැබුණු ආත්මවිශ්වාසයත් සමඟ අපි රටින් පිටදීත් ක්‍රීඩා කරන්න ඕන. නවසීලන්ත තරගාවලියෙන් පසුව අපි ඩුබායිවලදී පාකිස්තනයට එරෙහිව තරග කරනවා. රටින් පිටතදී සාර්ථක වෙන්නත් මෙම තරගාවලියේ සාර්ථකත්වය ගොඩක් වැදගත් වෙනවා”

“පිතිකරුවන් හය දෙනාට අමතරව අපි පන්දු යවන්නන් ගැන අවධානය යොමු කළ යුතුයි. මොකද ලසිත් අයියා (ලසිත් මාලිංග) එක්දින පිටියෙන් සමුගත්තා. ඔහු අපේ ප්‍රධාන පන්දු යවන්නෙක්. ඕනම වෙලාවක කඩුලු දවාගන්න ඉදිරිපත් වූ පන්දු යවන්නෙක්. අපි ඉදිරියේදී සොයාගත යුතුයි අපිට කඩුලු අරන්න දෙන්න පුළුවන් කාටද කියලා”

“ඒ වගේම හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයො ඕනේ. අපි රටෙන් පිට ක්‍රීඩා කරන විට හොඳ තුන් ඉරියව් ක්‍රීඩයො ඉන්න ඕනේ. අපි අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක උදව් කරන්න පුළුවන් කෙනා තමයි වැඳගත්. අද සියලුම දෙනාට පන්දු යවන්න අවස්ථාව ලැබුණා. හැමෝම කඩුල්ලක් අරන්න දුන්නා”

“පිතිකරුවන් හය දෙනා වුණත් වසර ගණනාවකට ස්ථිරයි කියලා මම හිතන්නේ නෑ. පසු පසින් ඉන්න පිතිකරුවන් මත එයත් තිරණය වෙනවා. ඒ නිසා අපි හය දෙනා අනිවාර්යෙන්ම දස්කම් අතර ඉන්න ඕනේ”

“ඕනෑම ශක්තිමත් කණ්ඩායමකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට කණ්ඩායමේ ඉන්න සහ එළියෙ ඉන්න යන ක්‍රීඩකයන් දෙපළම ශක්තිමත්ව තියාගන්න මම බලාපොරොත්තු වෙනවා”

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී දඟ පන්දු යවන්නන් පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.  

“ඇඹුල්දෙණිය අනිවාර්යෙන්ම ටෙස්ට් කණ්ඩායමට එනවා. මොකද අපිට හොඳ වමත් දඟ පන්දු යවන්නෙක් ඕන. ඇඹුල්දෙණිය නැඟීඑන කණ්ඩායමේ දස්කම් දක්වලා තියෙනවා. පිට දඟ පන්දු යවන ඩිල්රුවන් ආබාධයකට ලක්ව සිටිනවා. ඒ නිසා අකිලටත් අවස්ථාවක් තියෙයි”


අදහස් (0)

අපට පසුපෙළ ක්‍රීඩකයන් ඉන්නවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.