Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මල්ලව පොර සම්මේලනයේ නව සභාපති හේවාවිතාරණ

මල්ලව පොර සම්මේලනයේ නව සභාපති හේවාවිතාරණ

නාමල් පතිරගේ - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ සරත් හේවාවිතාරණ මහතා 2021-23 සිය නිල කාලය ඉලකක්ක කරමින් රුපියල් මිලියන 27ක වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඉකුත්දා පැවැති මල්ලවපොර සම්මේලනයේ නිලවරණය සඳහා එක් පාර්ශ්වයක් ලෙස නාමයෝජනා ඉදිරිපත් කර සිටි කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ නිලධාරින් එය ආරම්භයට පෙර විරෝධතා ඉදිරිපත් කරමින් නැගිට ගියේය. අනතුරුව නිලවරණය පැවැත්වුණු අතර එහිදී සම්මේලනයේ හිටපු ලේකම් සරත් හේවාවිතාරණ මහතා ඇතුළු එම පාර්ශ්වයෙන් නාමයෝජනා භාරදී සිටි අපේක්ෂකයන් සම්මේලනයේ සියලු තනතුරු සඳහා නිතරගයෙන් පත්විය.

එහිදී ප්‍රධාන ලේකම් ධුරයට අජන්ත රත්නායක මහතා ගම්පහ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය නියෝජනය කරමින් පත්විය.

නව සභාපති සරත් හේවාවිතාරණ මහතා මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ වත්මන් සභාපතිවරයායි. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ඒ මහතා කලක් ජාතික මලල ක්‍රීඩා සංචිතයට නිර්දේශ වී සිටි මෙරට ප්‍රධානතම දේශීය මල්ලවපොර තරග මාලාවලදී පදක්කම් දිනා ගත් හිටපු ක්‍රීඩකයෙකි.

සිය පත්වීමෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ හේවාවිතාරණ මහතා සිය නිල කාලයේ සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක කරමින් මේ වන විටත් එය කෙටුම්පත් කර අවසන්ව ඇතැයි පැවැසීය. වසරකට ආසන්න කාලයක් පුරා දේශීය මල්ලවපොර තරග මාලා හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය ඇණහිට තිබෙන මොහොතක සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණු වහාම දේශීය තරගමාලා හා ජාතික සංචිතය ස්ථාපිත කිරීම අරඹන බව පැවැසීය.

එහිදී ලෝක ශූරතාවලිය, ආසියානු ශූරතාවලිය, දකුණු ආසියානු ශූරතාවලිය ඇතුළුව අන්තර්ජාතික තරග මාලා හතක් සඳහා 2021-22 කාලසීමාවේදී සහභාගි වීමට ශ්‍රී ලංකාව සැළසුම් කර ඇතැයි නව සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

නිලවරණයෙන් කොළඹ සංගමය නැගිට යන අතර යුද හමුදා ක්‍රීඩා සමාජය ඊට සහභාගි නොවීය. ඊට සහභාගි වී සිටි සෙසු දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත මල්ලවපොර සංගම් ගණන නවයකි.

අවසන් වරට පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගත් ක්‍රීඩා ඉසව් අටෙන් එකක් වන මල්ලවපොර ඉසව්වෙන් හිමිකර ගත් මුළු පදක්කම් ගණන 14කි. ඉන් දෙකක් රන් පදක්කම් වන අතර 10 ක් රිදී පදක්කම් වේ.


ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නව විධායක සභාව (2021-23)

සභාපති:- සරත් හේවාවිතාරණ මහතා,
ලේකම්:- ආර්.එම්. අජන්ත රත්නායක මහතා,
භාණ්ඩාගාරික:- එම්.එම්. දිනේෂ් ක්‍රිෂාන්ත මහතා,
උපසභාපතිවරු :- ගෲප් කපිතාන් පී.ඊ. ගුණවර්ධන, එල්.ආර්.එම්.යූ.බී. කඳුරුගමුව, කේ.එස්. කොඩිතුවක්කු, කේ.ටී. ඩොනල් ඉන්ද්‍රවත්ත සහ එම්.පී.එන්.සී. ප්‍රනාන්දු යන මහත්වරු, උපලේකම්:- ඩී.පී.පී. රණසිංහ මහතා,
උපභාණ්ඩාගාරික:- පී.එම්.ඩී. සඳාමාලි මහත්මිය,
කාරක සභිකයන්:- ඩබ්ලිව්.එම්.එස්. ආරියදාස, ටී.අයි. උඩුවර, පී.ජේ.එස්. ප්‍රනාන්දු, ආර්.ඒ.ඒ.පී. රන්දෙණිය සහ ඩී.අයි. ප්‍රසාද් යන මහත්වරු.

 


අදහස් (0)

මල්ලව පොර සම්මේලනයේ නව සභාපති හේවාවිතාරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.