Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල් දාන්නේ නෑ

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල් දාන්නේ නෑ

editorial - 2020 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන් සූදානම් වෙමින් සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ බව ප්‍රකාශ කර ඇත්තේ අයි.පී.එල්. තරගාවලියට ඉඩ ප්‍රස්ථාව ලබාගැනීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වසර 2022 දක්වා කල්දැමීමට සූදානම් වන බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමිනි.

“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල්දාන්න අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිම තීරණයක් අරගෙන නෑ. මේ වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ඒ විදිහටම පවත්වන්න අවශ්‍ය පියවර අපි අරගෙන යනවා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කළේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තවත් වසර දෙකකින් කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ කරවාගෙන ඇති බවයි.

කොවිඞ්-19 වයිරසයේ බලපෑම සහ සාමාජික රටවල් මුහුණ දෙන තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (28 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉරණම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝකයේ වඩාත්ම පොහොසත් ක්‍රිකට් පාලක මණ්ඩලය වන අතර ලෝකයේ සෙසු රටවල ආදායමට බලපෑම් කළ හැකි ආකාරයේ ශක්තියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබේ. එබැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්ථාවරයත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ස්ථාවරයත් අතර ඇත්තේ සියුම් පරතරයකි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තා්බර් මස 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය.

කොවිඞ් - 19 වයිරසයේ පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාව ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටින රටකි. එහෙත් ඕස්ට්‍රේලියාවේ සංචරණ සීමා ඉතාමත් දැඩිව පවත්වාගෙන යන අතර ඇතැම් ප්‍රාන්ත සීමා තවමත් වසාදමා තිබේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ලබන වසරේ තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේදීය. එහෙත් මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් එය අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට කදිම විවරයක් සපයා දෙනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අපේක්‍ෂාවයි. මේ වසරේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් එයින් සිදුවන අලාභය ඩොලර් මිලියන 530 කි.


- 213


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය කල් දාන්නේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.