Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කපිල කුමාරට පැනවූ තහනම යළිත් බලාත්මක කරයි

කපිල කුමාරට පැනවූ තහනම යළිත් බලාත්මක කරයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන කපිල කුමාර මහතාට ජාතික ක්‍රීඩා සංගමයේ තනතුරු දැරීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය යළි බලගැන්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එම සම්මේලනයේ හිටපු සභාපති කිත්සිරි යූ.කේ. ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කපිල කුමාර මහතාගේ තහනම යළි බලගැන්වීමට තීරණය කළ බව පවසයි. මෙහි පූර්ව සිදුවීම වන්නේ කායවර්ධන සම්මේලනයේ සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියදී කපිල කුමාර මහතාට චෝදනා හතක් මුල් කර ගනිමින් ත්‍රි පුද්ගල විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මඬුල්ලක් මගින් කායවර්ධන සම්මේලනය ඇතුළු සියලු ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට නිර්දේශ කිරීමය.

පසුව එය ක්‍රියාත්මක කිරීමේ දී එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට යොමු කළ අභියාචනයක් හමුවේ කපිල කුමාර මහතාගේ දඬුවම වසර දෙකකට ලිහිල් කෙරුණි.

කෙසේ වුවත් ඉන් සෑහීමට පත් නොවූ කපිල කුමාර මහතා පසුව ක්‍රීඩා ඇමති ධුරයට පැමිණි හරින් ප්‍රනාන්දු මහතාට තවත් අභියාචනාවක් ඉදිරිපත් කළේය.

එහිදී කපිල කුමාර මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය වූ අතර එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනය ප්‍රකාශයට පත් කළේය. මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොනු කරමින් කායවර්ධන සම්මේලනයේ එවකට සභාපති කිත්සිරි යූ.කේ. ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට පෙන්වා දුන්නේ කපිල කුමාර මහතාගේ තහනම ඉවත් කිරීමට ගත් තීරණය ක්‍රීඩා පනතට පටහැනි බවයි.

කිත්සිරි ප්‍රනාන්දු මහතාගේ එම විරෝධතාවය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රජයේ නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ. ඒ අනුව කපිල කුමාර මහතා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණය ක්‍රීඩා නීතියට පටහැනි නිත්‍යානුකූල නොවන කටයුත්තක් ලෙස රජයේ නීතිපතිවරයා අර්ථකථනය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ කපිල කුමාර මහතාට ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයෙන් පැනවූ තහනම නැවත බලාත්මක වන බවත් ඒ අනුව ඔහුට මින් ඉදිරියට කායවර්ධන සම්මේලනයේ හෝ වෙනත් කිසිදු ජාතික සංගමයක තනතුරු දැරිය නොහැකි බවත්ය.

රුවන් චන්ද්‍ර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරමින් සිටියදී කපිල කුමාර මහතාගේ තහනම පළමු වතාවට නිවේදනය කළේය.

යළි තහනම බලගැන්වෙන බව ප්‍රකාශ වී ඇති කපිල කුමාර මහතා දකුණු ආසියානු කායවර්ධන සම්මේලනයේ හිටපු උපසභාපතිවරයෙකු වන අතර ආසියානු කායවර්ධන සම්මේලනයේ හා ලෝක කායවර්ධන සම්මේලනයේ විධායක හා කමිටු සාමාජික ධුර ද දැරූවෙකි.

වසර 2014 කොළඹ පැවති ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය සංවිධානය වූයේ ඔහුගේ මෙහෙයවීම යටතේය.

කපිල කුමාර මහතාගේ තහනම යළි බලගැන්වීම පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය හමුවක්  පසුගිය12 වැනිදා  කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන කිත්සිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


අදහස් (0)

කපිල කුමාරට පැනවූ තහනම යළිත් බලාත්මක කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.