Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පුහුණුවීම් ඇරඹීමට පෙර දින 14 ක නිරෝධායනයක්

පුහුණුවීම් ඇරඹීමට පෙර දින 14 ක නිරෝධායනයක්

editorial - 2020 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)

දැනට තාවකාලිකව විසුරුවා ඇති ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් යළි කොළඹට කැඳවා පළමුව දින 14ක් නිරෝධායනයට ලක්කොට පසුව නේවාසික  පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අවධානය දැන් යොමුවී ඇත.

ජාතික පාපන්දු සංචිතයට අනුබද්ධිතව  ක්‍රීඩකයන් 25 දෙනකු ඇතුළත් වන අතර ඉන් ක්‍රීඩකයන් 15 දෙනෙකු පමණ කොළඹින් පිටතද ඉතිරි 10 දෙනා කොළඹ නගරාසන්නයේද අය වෙති.  

ලබන ජූනි 1 දා සිට  ජාතික ක්‍රීඩා සංචිතවල පුහුණුව ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය දී ඇති උපදෙස් මත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අදාළ යෝජනාව කෙරෙහි සලකා බලමින් සිටී. එහෙත් ජූනි 1 දා සිට පුහුණුව ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය කිසි විටකත්  සූදානම් නොමැති බව එහි ලේකම් උමාර් ජස්වර් මහතා පවසයි.

දැනට මාස 3කට ආසන්න කාලයක සිට ජාතික පාපන්දු සංචිතයේ  ක්‍රීඩකයන් නිදැල්ලේ සිටීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය  තත්ත්වය පිළිබඳව සහිතකයක් දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නොහැකි බවත්, පළමුව ක්‍රීඩකයන් දින 14 ක නිරෝධායනයට ලක් කර  දෙවනුව නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමට ඇති හැකියාව සොයා බැලීම ප්‍රායෝගික බවත් එහි ලේකම්වරයා පවසයි.

මේ අතර ලබන 28 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ජාතික පුහුණුකරුවා වන බොස්නියානු ජාතික අමීර් අලාජික් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ජාතික පාපන්දු පුහුණුකරු ඉකුත් ජනවාරි මාසයේ මෙරටට පැමිණියේය.  ඔහුට සිය පුහුණුවීම් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට කොරෝනා ව්‍යසනය නිසා නොහැකිවිය.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 10කට වැඩි මාසික වේතනයකට හිමිකම් කියන බොස්නියානු ජාතිකයා  දැනට මාස 3කට වැඩි කාලයක් තිස්සේ කිසිදු සේවයක් ලබා නොදීම සිය වේතනය ලබන බව වාර්තා වේ.

බොස්නියානු පුහුණුකරුගෙන් මෙම වසරේ ප්‍රධාන ඉලක්ක දෙකක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වී සිටියේය. ඒ ලබන සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සංගම් කුසලාන තරගාවලිය සහ 2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම්  ලබා ගැනීමේ (ආසියානු) දෙවන වටයේ තරග සඳහා කණ්ඩායම සූදානම් කරගැනීමයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරග 3 ක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබේ. දකුණු කොරියාව, උතුරු කොරියාව සහ බහරේනය අතර එම තරග ඉතිරිව ඇත.

කෙසේ වෙතත් දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සහ අනෙකුත් ජාත්‍යන්තර තරග 3 මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා ඇත. එය බොහෝ විට මෙම නොවැම්බර් - දෙසැම්බර් වකවානුවේ හෝ 2021  ජනවාරි - පෙබරවාරි වකවානුවේ පැවැත්වෙනු ඇතැයි
පාපන්දු බලධාරීහු අපේක්ෂා කරති.

මීට අමතරව මෙම වසරේ ජාතික මට්ටමේ තරගාවලි කිහිපයක් ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වූ නමුදු දැනට පවතින තත්ත්වය මත ඊට දින නියම කිරීමට නොහැකි වී ඇත. ඩය​ලොග් ප්‍රිමියර් ලීග් තරගාවලිය, එෆ්. ඒ. කුසලාන අන්තර් සමාජීය තරගාවලිය සහ අලුතින් හඳුන්වාදීමට සැලසුම් කොට ඇති සුපර් ලීග් අර්ධ වෘත්තිමය  තරගාවලිය දැනට පවතින තත්ත්වය සමනය වූ වහාම ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වේ. සුපර්ලීග් තරගාවලිය සඳහා දැනටමත් කණ්ඩායම් 10 තෝරාගෙන ඇති අතර එම කණ්ඩායම් 10 කවරේද යන්න ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙම තරගාවලි ආරම්භ කිරීමට පෙර පුහුණු තරග කීපයක්, නරඹන්නන්ගෙන් තොරව,  කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෝජනා වී ඇත. තත්ත්වය එසේ වුවද මෙම තරගාවලි සඳහා අනුග්‍රහය දැක්වීමට මූලිකව කැමැත්ත දක්වා ඇති ව්‍යාපාරික ආයතන මේ වන විට කිසියම් පසුබැසීමක් පෙන්වන බවටද වාර්තා වේ.

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 2020 අප්‍රේල් 9 වැනිදා පැවැති ශ්‍රේණිගත කිරීම් අනුයව, ශ්‍රී ලංකාව 206 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

 


අදහස් (1)

පුහුණුවීම් ඇරඹීමට පෙර දින 14 ක නිරෝධායනයක්
  • Deshapriya Tuesday, 09 June 2020 03:46 AM

    ගොඩක් හොඳ තීරණයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.