Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නැගී එන කණ්ඩායම් අතරේ ආසියානු කුසලාන පාකිස්තානයට

නැගී එන කණ්ඩායම් අතරේ ආසියානු කුසලාන පාකිස්තානයට

editorial - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැති නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තාන වයස 23 න් පහළ කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත් විය. ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 77 ක ජයක් අත්කර ගනිමින් පාකිස්තාන ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 302 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ වයස 23 න් පහළ කණ්ඩායමට මොහොමඞ් හස්නයින් ප්‍රමුඛ පාකින්තාන නැගී එන පන්දු යවන්නන් හමුවේ ඕවර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ හස්නයින් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර ශයිෆ් බාබර් සහ කුෂ්දිල් ෂා කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා හස්නයින්ට අනගි සහායක් දුන්හ.

මුල් කඩුලු 2 ලකුණු 41 ක් තුළ බිඳවැටීම නිසා තරමක අසීරු තත්වයකට මුහුණපා සිටි බංග්ලාදේශ නැගී එන කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් නායක නජ්මුල් හුසේන් (46) තෙවැනි කඩුල්ල වෙනුවෙන් යසිර් අලී (22) සමග එක්ව පන්දු 61 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එහෙත් අහමඞ් බට්ගේ පන්දුවක් හමුවේ අලී කඩුල්ල මුවා කිරීමකට හසුවීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

අෆීෆ් හොසේන් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 49 ක්ද, මෙහෙදි හසන් පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ක්ද රැස්කිරීමට සමත් වූ නමුත් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ. අෆීෆ් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ මොහොමඞ් හස්නයින්ගේ පන්දුවක් හමුවේ සමීන් ගුල් අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන නැගී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 301 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රොහේල් නසීර් (113) ශතකයක් ලබාගත්තේය. පන්දු 111 කට මුහුණදුන් ඔහු සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් අලංකාර කළේය.

ඉම්රාන් රෆීක් (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 152 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොහේල් නසීර්, ඉන් නොනැවතී නායක සවුද් ශකීල් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන නැගී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 88 කදී වාර්තා වූ රෆීක්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 40 කදී වාර්තා වූ ශකීල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

මෙම තරගාවලියේ පසුගිය වතාවේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙවර තරගාවලියේදී පළමු වටයෙන් පසුව ඉවතට විසිවිය.

පාකිස්තාන 23 න් පහළ පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 301
(හයිඩර් අලී 26, රෙහේල් නසීර් 113, ඉම්රාන් රෆීක් 62, සවුද් ශකීල් 42, කුෂ්දිල් ෂා 27, අහමඞ් බට් නොදැවී 15, සුමන් ඛාන් 75/3, හසන් මහමුද් 52/2)

බංග්ලාදේශ 23 න් පහළ පිල - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 224
(මොහොමඞ් නයීම් 16, සෞම්‍ය සාකර් 15, නජිමුල් හොසේන් 46, යසිර් අලී 22, අෆීෆ් හොසේන් 49, මෙහෙදි හසන් 42, මොහොමඞ් හස්නයින් 32/3, සෆීෆ් බාදර් 27/2, කුෂ්දිල් ෂා 39/2)

-036


අදහස් (0)

නැගී එන කණ්ඩායම් අතරේ ආසියානු කුසලාන පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.