Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ලකුණු 119 ක දැවැන්ත ජයක්

එංගලන්තයට ලකුණු 119 ක දැවැන්ත ජයක්

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)
 

 

ඕවර 45 කදී - නවසීලන්තය 186/10

නවසීලන්තය පරාදවා ලකුණු 119 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර තරගයේ වීරයා ලෙස ශතකයක් ලබාගත් ජොනී බෙයාස්ටෝ සම්මාන දිනාගත්තේය.

මාක් වුඞ් යැවූ 44 වැනි පන්දුවේදී සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදීම නිසා මැතිව් හෙන්රි ලකුණු 7 කට දැවී ගිය අතර ආදිල් රෂීඞ් යැවූ 45 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ජොස් බට්ලර්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 4 කට දැවී ගියේය.

එංගලන්ත කණ්ඩයමේ මෙම ජයග්‍රහණයත් සමගින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට ගිය අතර නවසීලන්තය එහි සිවුවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.

--------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්ත කණ්ඩායම පරාජය අභියස

ඕවර 40 කදී - නවසීලන්තය 171/8
ඉනිමේ ඕවර 31 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී නවසීලන්ත පිතකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී පන්දු 57 කදී හතරේ පහර 4 ක් සමගින් ටොම් ලේතම් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය. කෙසේ වුවත් අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර ලයෑම් ප්ලන්කට් යැවූ යැවූ 39 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් පන්දු ලේතම් දැවී ගියේය.

ලේතම්ගේ දැවී යෑමෙන් පන්දු 4 කට අනතුරුව මිචෙල් සෑන්ට්නර්ද ලකුණු 12 කට දැවී ගියේ මාක් වුඞ් යැවූ 40 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

--------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්ත පිතිකරුවෝ අමාරුවේ වැටෙති

ඕවර 30 කදී - නවසීලන්තය 136/6

ඉනිමේ ඕවර 21 වැනි ඕවරයේ සිට 30වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු 52 ක් රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 2 ක් දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

මාක් වුඞ් යැවූ 26 වැනි ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ වැදීමෙන් ජේම්ස් නීෂම් ලකුණු 19 කට දැවී ගියේය. පන්දු 27 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.

බෙන් ස්ටෝක්ස් යැවූ 29 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් පන්දු 13 කට මුහුණදී සිටි කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් ලකුණු 3 කට දැවී ගියේය.

--------------------------------------------------------------------------------------------------------------------------------

විලියම්සන් - ටේලර් දුවද්දී දැවී යති

ඕවර 20 කදී - නවසීලන්තය 87/4

ඉනිමේ ඕවර 11 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු 50 ක් රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 2 ක් දවාගැනීමට එංගලන්ත පන්දු රකින්නෝ සමත් වූහ.

පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් ලබා සිටි කේන් විලියම්සන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මාක් වුඞ් සමත් විය. වුඞ් යැවූ 15 වැනි ඕවරයේ පළමු පන්දුවේදී රොස් ටේලර් ගැසූ පහරකින් ඇදී ගිය පන්දුවට වුඞ්ගේ අතේ වැදී පන්දු යවන අන්තයේ කඩුල්ල මතට පතිත විය. ඒ වන විට එම අන්තයේ සීමා ඉරෙන් පිටතට පැමිණ සිටීම නිසා විලියම්සන්ට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.

පන්දු 42 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි රොස් ටේලර් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ආදිල් රෂීඞ් සහ ජොස් බට්ලර් සමත් වූහ.

--------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්ත ආරම්භක පිතිකරුවෝ දැවී යති

ඕවර 10 කදී - නවසීලන්තය 37/2

ඉනිමේ මුල් ඕවර 10 තුළදී නවසීලන්ත පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 37 ක් පමණි. නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අඩු ලකුණු ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත ආරම්භක පන්දු යවන්නෝ සමත් වූහ.

ක්‍රිස් වෝක්ස් යැවූ පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් හෙන්රි නිකෝල්ස් ලකුණු නොළබාම දැවී ගියේය. එය මෙම තරගයේදී ඔහු මුහුණ දුන් පළමු පන්දුවද විය.

ජොෆ්රා ආචර් යැවූ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් පන්දු 16 කදී හකරේ පහරක් සමග ලකුණු 8 ක් ලබා සිටි මාටින් ගප්ටිල් දැවී ගියේය.  

--------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තයට ලකුණු 306 ක ඉලක්කයක්

ඕවර 50 කදී - එංගලන්තය 305/8

ඉනිමේ අවසන් ඕවර 10 තුළදී ලකුණු 64 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලු 4 ක් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එංගලන්ත ඉනිම නිමා වන විට ලයෑම් ප්ලන්කට් නොදැවී ලකුණු 15 ක්ද, ජොෆ්රා ආචර් නොදැවී ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මිචෙල් සෑන්ට්නර් යැවූ 42 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ලෝන්ග් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි මැතිව් හෙන්රි අතට උඩ පන්දුවක් දෙමින් පන්දු 27 කට මුහුණදී සිටි බෙන් ස්ටෝක්ස් ලකුණු 11 කට දැවී ගියේය.
ජේම්ස් නීෂම් යැවූ 45 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී මිඞ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රිස් වෝක්ස් ලකුණු 4 කට දැවී ගියේය.

මැට් හෙන්රි යැවූ 47 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් නායක ඔයින් මෝගන් ලකුණු 42 කට දැවී ගියේය. පන්දු 40 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ටිම් සවුති යැවූ 50 වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් පන්දු 12 කදී හතරේ පහරක් සමග ලකුණු 16 ක් ලබා සිටි ආදිල් රෂීඞ් දැවී ගියේය.

--------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්ත පන්දු යවන්නෝ වැඩ අල්ලති

ඕවර 40 කදී - එංගලන්තය 241/4

ඉනිමේ ඕවර 31 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා එංගලන්ත පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 47 ක් පමණි.  එහිදී කඩුලු 3 ක් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 40 වැනි ඕවරය නිමවන විට නායක ඔයින් මෝගන් (නොදැවී 23) සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 06) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 28 කි.

ටේ‍රන්ට් බෝල්ට් යැවූ 31 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 24 කට දැවී ගියේය. පන්දු 25 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.

මැතිව් හෙන්රි යැවූ 32 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ජොනී බෙයාස්ටෝ ලකුණු 106 කට දැවී ගියේය. දැවී යෑමට පෙර පන්දු 99 කට මුහුණදුන් බෙයාස්ටෝ, සිය 26 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් අලංකාර කළේය.

ට්‍රෙන්ට් බෝල්ට් යැවූ 35 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී නායක කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් ජොස් බට්ලර් ලකුණු 11 කට දැවී ගියේය. පන්දු 12 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.

--------------------------------------------------------------------------------------------------------------------------------

බෙයාස්ටෝ පිට පිටම දෙවැනි ශතකය ලබයි

ඕවර 30 කදී - එංගලන්තය 194/1

ඉනිමේ ඕවර 21 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය දක්වා ලකුණු 61 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ අතර එහිදී එක් කඩුල්ලක් හෝ දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ අපොහොසත් වූහ. 30 වැනි ඕවරය නිමවන විට බෙයාස්ටෝ (නොදැවී 100) සහ ජෝ රූට් (නොදැවී 24) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 71 කි.

එහිදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග පන්දු 95 කින් සිය 9 වැනි එක්දින ශතකය ලබාගැනීමට ජොනී බෙයාස්ටෝ සමත් විය. එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම ලබාගත් දෙවැනි ශතකයද විය. මේ වන විට තරග 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 456 ක් ලබා සිටින බෙයාස්ටෝ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 6 වැනි ස්ථානයේ පසුවේ.

--------------------------------------------------------------------------------------------------------------------------------

ජේසන් රෝයි ලකුණු 60 කට දැවී යයි

ඕවර 20 කදී - එංගලන්තය 133/1

ඉනිමේ ඕවර 11 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ලකුණු 66 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ අතර එහිදී එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජේසන් රෝයි දවාගැනීමට ජේම්ස් නීෂම් සමත් විය.

නීෂම් යැවූ 18 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් ජේසන් රෝයි ලකුණු 60 කට දැවී ගියේය. දැවී යෑමට පෙර පන්දු 61 කට මුහුණදී සිටි රෝයි හතරේ පහර 8 කින් සිය 17 වැනි අර්ධ ශතකය අලංකාර කළේය.

රෝයිගේ දැවී යෑමත් සමග ඔහු සහ ජොනී බෙයාස්ටෝ (නොදැවී 62) එක්ව එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ගොඩනැගූ ලකුණු 123 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

--------------------------------------------------------------------------------------------------------------------------------

එංගලන්ත පිතිකරුවෝ සාර්ථක ආරම්භයක

ඕවර 10 කදී - එංගලන්තය 67/0

මුල් ඕවර 10 තුළදී නවසීලන්ත පන්දු යවන්නන්ට කඩුලු දවාගැනීමට අවස්ථාවක් නොදෙමින් ඉතා දක්ෂ ලෙස පන්දුවට පහරදුන් එංගලන්ත ආරම්භ පිතිකරුවෝ එහිදී ලකුණු 67 ක් රැස්කළහ.

එම ඕවර 10 නිමාවන විට ජේසන් රෝයි හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද, ජොනී බෙයාස්ටෝ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියහ.

ටිම් සවුති යැවූ එංගලන්ත ඉනිමේ 5 වැනි ඕවරයේදී පිට පිටම එල්ල කළ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 13 ක් රැස්කිරීමටද ජොනී බෙයාස්ටෝ සමත් විය.

--------------------------------------------------------------------------------------------------------------------------------

එංගලන්තය පන්දුවට පහරදීම තෝරාගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස එංගලන්තය සහ නවසීලන්තය අතර චෙස්ටර්ලේ ස්ටී්‍රට්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


එංගලන්ත කණ්ඩායම
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් වොක්ස්, ලයෑම් ප්ලන්කට්, ආදිල් රෂීඞ්, ජොෆ්රා ආචර් සහ මාක් වුඩ්

නවසීලන්ත කණ්ඩායම
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, හෙන්රි නිකෝල්ස්, රොස් ටේලර්, ටොම් ලේතම්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ජේම්ස් නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සවුති, මැතිව් හෙන්රි සහ ටේ‍රන්ට් බෝල්ට්


අදහස් (0)

එංගලන්තයට ලකුණු 119 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.