Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉමාම් - බාබර් - ශහීන් පාකිස්තානයට ජය ගෙනෙති

ඉමාම් - බාබර් - ශහීන් පාකිස්තානයට ජය ගෙනෙති

editorial - 2019 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉමාම් උල් හක් (100) සහ බාබර් අසාම්ගේ (96) ශතක සම්බන්ධතාවයත්, ශහීන් අෆ්රිඩිගේ (35/6) පන්දු යැවීමත් හමුවේ බංග්ලාදේශයට එරෙහිව ලෝඞ්ස්හිදී අද (5 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගය ලකුණු 94 කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 44.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 221 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශහින් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 6 ක් දවාගනිමින් ජාත්‍යන්තර එක්දින දිවියේ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය.

සකීබ් අල් හසන් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැඹීම හේතුවෙන් ජයග්‍රහණය කරා යෑමට බංග්ලාදේශයට අවස්ථාව හිමිනොවීය. පන්දු 77 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළ සකීබ් අල් හසන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 600 සීමාව පසුකළ පළමු පිතිකරු බවට පත්වීමට සමත්විය. තරග 8 කට සහභාගීවූ සකීබ් ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 606 ක් රැස්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සමුදුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 157 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඉමාම් උල් හක් සහ බාබර් අසාම් පාකිස්තාන කණ්ඩායමට ඉහළ ලකුණූ සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වූහ.

සිය ලෝක කුසලාන මංගල ශතකය පන්දු 99 කදී ලබාගත් ඉමාම් උල් හක් ජාත්‍යන්තර එක්දින තරග වලදී ලබාගත් 7 වැනි ශතකය ලෙස වාර්තා වන්නේය. ශතකය ලබාගැනීමෙන් පසුව මුහුණදුන් පළමු පන්දුවේදී පාදය කඩුල්ලේ වැදීම හේතුවෙන් ඉමාම් උල් හක්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 100 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඉමාම්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමු කඩුල්ල දැවීයාමෙන් පසුව පන්දුවට පහරදීමට පැමිණි බාබර් අසාම් වැඩි පන්දු සංඛ්‍යාවකට මුහුණදෙමින් ඉමාම්ට වඩා ඉක්මනින් ලකුණු රැස්කිරීමක නිරතවුවද ශතකයට ලකුණු 4 ක් මෙපිටින් සිටියදී මොහොමඞ් සයිෆුඩීන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා සිය 11 වැනි ශතකය අහිමිකර ගත්තේය.

දැවීයන විට පන්දු 98 කට මුහුණදුන් බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

මැදපෙළ පිතිකරු ඉමාඞ් වසීම් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් ලබාගැනීමට සමත්විය.

බංග්ලාදේශ නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද මෙහෙදි හසන් හැර අනෙක් පන්දු යවන්නෝ සියලුදෙනා දැඩි පහරදීමකට ලක්වූහ. සිය ඕවර 10 ලකුණු 30 කට සීමාකළ මෙහෙදි හසන්ට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. මුස්ටෆීසූර් රහ්මන් ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගත් අතර මොහොමඞ් සයිෆුඩීන් ලකුණු 77 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක සහභාගීවන අවසන් තරගය වන අතර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමේ දොරටු මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායමට අහිමිවී ඇත. පාකිස්තානය මෙම තරගය ජයගත්තද ශුද්ධ ලකුණු වේගය මත අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 7 ක් තුල දවාගත යුතුව ඇත.


පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 315
(ඉමාම් උල් හක් 100, බාබර් අසාම් 96, මොහොමඞ් හෆීස් 27, ඉමාඞ් වසීම් 43, මුස්ටෆීසූර් රහ්මන් 75/5, මොහොමඞ් සයිෆුඩීන් 77/3)

බංග්ලාදේශය - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී 221
(සෞම්‍ය සර්කාර් 22, සකීබ් අල් හසන් 64, ලිටන් දාස් 32, මහමුදුල්ලා 29, ශහීන් අෆ්රිඩි 35/6, ශදාබ් ඛාන් 59/2)

 

 

ප්‍රසාද ලකුණු සටහන

 

...


අදහස් (0)

ඉමාම් - බාබර් - ශහීන් පාකිස්තානයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.