Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2011 අවසන් මහා තරඟයේ පිරිසිදුබව ගැන සැකයක් නෑ

2011 අවසන් මහා තරඟයේ පිරිසිදුබව ගැන සැකයක් නෑ

editorial - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති, 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තරම් කිසිදු සාක්ෂියක් නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසයි.

“2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයේ පිරිසිදුබව ගැන සැක කිරීමට අපට හේතුවක් නැත‘යි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී අංශයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය සිකුරාදා (03 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මීට වසර නවයකට පෙර මුම්බායි හිදී ඉන්දියාව ජයගත් අවසන් මහා තරගයේදී සිදුවූයේ යයි කියන පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දනන්ද අලූත්ගමගේ කළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළද එම පරීක්ෂණ ඊයේ (3 වැනිදා) නවතා දමන ලදි. පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා සිකුරාදා (03 වැනිදා) ‘ලංකාදීප’යට පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙකම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න...“

“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්” යයි යයිද ෆොන්සේකා මහතා කීවේය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය “විකුණා” ඇතැයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා පසුගිය 18 වැනිදා විද්යුත් මාධ්‍ය නාලිකාවට කියා සිටියේය.

එම ප්‍රකාශයෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යංශයේ වත්මන් ලේකම්, කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ නියෝග මත  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළේය.

නාවලපිටියට ගොස් මහින්දානන්ද මහතාගෙන් ප්‍රකාශයක් ගත් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ උපුල් තරංග යන අය ප්‍රශ්න කිරීම සඳහා කැඳවීය. ඒ තිදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගත් විශේෂ විමර්ශන ඒකකය මහේල ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබියදී, ඔහුගෙන් ප්‍රශ්න කිරීමකින් තොරවම, විමර්ශනය අත්හැර දමන ලදි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිකුරාදා (03 වැනිදා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කිසියම් වැරැද්දක් සිදුවී ඇති බව සඳහන් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී අංශයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසීය.

“2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සම්බන්ධයෙන් එල්ල වන මෑතකාලීන චෝදනා ගැන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී ඒකකය හොයා බැලුවා... ඒත් මේ වෙනකම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට හෝ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු අපට ලැබිලා නෑ“

“ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත එවා ඇති බවටත් වාර්තාවක් නෑ. එවකට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය පවසන්නේද පරීක්ෂණයක් ආරම්භ කළ යුතු තරමේ  එවැනි ලිපියක් ලැබීම පිළිබඳව කිසිදු මතකයක් නැති බවයි.

“අපි මේ ආකාරයේ සියලු චෝදනා අතිශයින් බැරෑරුම් ලෙස සලකනවා. ඒ සම්බන්ධයෙන් කරුණු සනාථ කිරීම සඳහා කිසියම් සාක්ෂියක් අපට ලැබෙන්නේ නම්, අපගේ වර්තමාන තත්ත්වය සමාලෝචනය කරනවා." යයිද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ නිවේදනයෙන් කියැවේ.

- 213


අදහස් (0)

2011 අවසන් මහා තරඟයේ පිරිසිදුබව ගැන සැකයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.