Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බෙන් ස්ටෝක්ස්

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බෙන් ස්ටෝක්ස්

editorial - 2020 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 2019 වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත් වී ඇත.

ගෙවී ගිය වසර තුළදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දස්කම් අතර ලෝක කුසලාන අවසන් මහ තරගයේ ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යෑම සහ ලීඩ්ස්හිදී පැවැති අළු බඳුන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යෑම වඩාත් කැපීපෙනේ.

2019 වසර තුළ ටෙස්ට් තරග 11 කට ක්‍රීඩා කර ඇති ස්ටෝක්ස් ඉනිම් 21 කදී ශතක 2 ක් සහ අර්ධ 4 ක් සමග ලකුණ 821 ක් රැස්කරගෙන ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 22 කි. එම වසර තුළ එක්දින තරග 20 කට සහභාගි වී ඇති ඔහු එහිදී අර්ධ ශතක 7 ක් සමග ලකුණු 719 ක් රැස්කරමින් කඩුලු 12 ක් බිඳහෙළා තිබේ.

ටෙස්ට් තරග 12 ක ඉනිම් 23 ක් තුළ කඩුලු 59 ක් බිඳහෙළ ඇති ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගන ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටි ඕස්ට්‍රේලියානු දඟ යවන ක්‍රීඩක නේදන් ලයන් ඉනිම් 23 ක් තුළ දවාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 45 කි.

එක්දින තරග 28 කදී ශතක 7 ක් සමගින් ලකුණු 1490 ක් රැස්කළ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 57.30 ක අගයක් ගත්තේය. එම ශතක 7 න් 5 ක්ම ඔහු ලබාගත්තේ ලෝක කුසලාන තරගාවලිය තුළදී වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත්ගේ හිඩැස පිරවීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වූ මානස් ලැබුෂේන් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ ටෙස්ට් තර 10 කදී ලකුණු 1022 ක් රැස්කිරමිනි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 68.13 ක් ලෙස සටහන් විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කළ ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩයමේ නායක විරාට් කෝලි සම්මානයට පාත්‍ර වූ අතර ඊට හේතු වූයේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගයකදී නරඹන්නන් ස්ටීවන් ස්මිත්ට අපහාස කරමින් සිටියදී ඊට මැදිහත් වී එම තත්වය සමතයකට පත්කිරීමට කෝලි කටයුතු කිරීමයි.

වසරේ හොඳම විස්සයි20 දක්ෂතාවට හිමිකම් කියමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගත් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චාහර් සම්මාන ලැබීය. එහිදී කඩුලු ත්‍රිත්වයක්ද දවාගත් චාහර්, විස්සයි20 තරගයක එතෙක් පැවැති හොඳම පන්දු යැවීමේ වාර්තාවද බිඳ දැමීමට සමත් විය.

වසරේ දක්ෂතම විනිසුරුවරයා ලෙස එංගලන්තයේ රිචඞ් ඉලින්වර්ත් සම්මාන දිනාගත් අතර ටෙස්ට් වරම් නොමැති රටවල් අතර දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක කයිල් කොයෙට්සර් සම්මාන හිමිකර ගත්තේය.


සම්මාන ලැයිස්තුව
■    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - බෙන් ස්ටොක්ස් (එංගලන්තය)
■    වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා - පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව)
■    වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - රෝහිත් ශර්මා (ඉන්දියාව)
■    වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - මානස් ලැබුෂේන් (ඕස්ට්‍රේලියාව)
■    ක්‍රීඩාවේ ජීව ගුණය රැකි ක්‍රීඩකයා - විරාට් කෝලි (ඉන්දියාව)
■    හොඳම විස්සයි20 දක්ෂතාව - දීපක් චාහර් (ඉන්දියාව)
■    වසරේ විනිසුරුවරයා - රිචඞ් ඉලින්වර්ත් (එංගලන්තය)
■    ටෙස්ට් වරම් නොමැති රටවල් අතර දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයා - කයිල් කොයෙට්සර් (ස්කොට්ලන්තය)

-036

 


අදහස් (0)

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බෙන් ස්ටෝක්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.