Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රාවෝ - හෙට්මියර් - පෝල් එංගලන්තයට යන්න බෑ කියති

බ්‍රාවෝ - හෙට්මියර් - පෝල් එංගලන්තයට යන්න බෑ කියති

editorial - 2020 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්තයට යාමට මේ අවස්ථාවේදී සූදානම් නැති බව කොදෙව් පිලේ ප්‍රබලතම පිතිකරුවකු වන ඩැරන් බ්‍රාවෝ ද ඇතුළු ක්‍රීඩකයෝ තිදෙනෙක් කියති.

"ඩැරන් බ්‍රාවෝ, ෂිම්රන් හෙට්මියර් සහ කීමෝ පෝල් යන තිදෙනාම එංගලන්ත සංචාරය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ තීරණයට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සම්පුර්ණයෙන්ම ගරු කරයි" යනුවෙන් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටින්නේ “මෙම තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට එරෙහිව කිසිම පියවරක් නොගන්නා“ බවයි.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරග 3 ක් පැවැත්වෙන බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජූලි 8 සිට 12 දක්වා සදම්ප්ටන්හිදී පැවැත්වේ.  දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග ජූලි 16-20 සහ ජූලි 24-28 යන දිනවල මැන්චෙස්ටර්හි ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය  ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ්-19 වයිරසයේ පැතිරීම හේතුවෙන් එය ප්‍රමාද කෙරිණ.

තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්තය සහ බටහිර ඉන්දීය කණ්ඩායම් පසුගිය සතියේදී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජුනි 9 වැනිදා එංගලන්තයට පැමිණීමට නියමිතය. එහෙත් පළමු තරගය පැවැත්වෙන සදම්ප්ටන් බලා යාමට පෙර සති තුනක නිරෝධායනක් හා පුහුණුව සඳහා කොදෙව් කණ්ඩායම මැන්චෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ රැඳී සිටිනු ඇත.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු වන ස්ටීව් එල්වර්ති මහතා කීවේ ක්‍රීඩකයින්, තරග නිලධාරීන්, මෙහෙයුම් කාර්ය මණ්ඩලය, අත්‍යවශ්‍ය ස්ථාන කාර්ය මණ්ඩලය, විකාශකයින් සහ මාධ්‍ය ඇතුළු සියලුම පාර්ශවකරුවන් සඳහා ආරක්ෂිත පරිසරයක් ලබා දීම සිය ප්‍රධානතම වගකීම බවයි.

"මෙම කාලය තුළ ඇදහිය නොහැකි තරම් සහයෝගයක් අපට රජයෙන් ලැබුණා. ඒ වගේම  අපගේ වෛද්‍ය කණ්ඩායම සමඟ අපි දිනපතා සාකච්ඡා කරමින් ඉන්නවා. තරගාවලිය සඳහා යෝජිත දිනයන් පවා එක්සත් රාජධානියේ රජයේ අනුමැතියට යටත්." යයිද ස්ටීව් එල්වර්ති මහතා පැවසීය.

පසුගිය සතියේ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ දේශීය ක්‍රිකට් තරගාවලිය අගෝස්තු දක්වා පසුපසට තල්ලු කරන බවයි. එහෙත් ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් එසේ තනි තීරණයක් ගත නොහැකිය.

රට රටවල ජාතික ක්‍රීඩා සංගම්වලට අන්තර්ජාතික තරගාවලි යනු ආදායම් මාර්ග වේ. නියමිත කාලයට ඒවා නොපැවැත්වුණහොත් විශාල මූල්‍ය හිදැස් ඇතිවීම වැළැක්විය නොහැකිය. 2019 - 2020 වසර සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ගිණුම් වාර්තාව අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙවර තරගවාරයේදී ප්‍රවේශපත් ආදායම, විකාශන ආදායම සහ අනුග්‍රාහක ආදායම අහිමි වීමෙන් මණ්ඩලයට ඇති අලාභය පවුම් මිලියන 252 ක් (ඩොලර් මිලියන 316) ලෙස තක්සේරු කරමිනි.

 

- 213

 


අදහස් (0)

බ්‍රාවෝ - හෙට්මියර් - පෝල් එංගලන්තයට යන්න බෑ කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.