Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් නිලවරණයට පිට අයත් එනවා යයි විරෝධතාවක්

වොලිබෝල් නිලවරණයට පිට අයත් එනවා යයි විරෝධතාවක්

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


--------------------
නාමල් පතිරගේ
--------------------

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණගාරයේදී හෙට පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන නියෝජිතයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා උපසභාපති ධුර අපේක්ෂක මහින්ද සෙනරත් බණ්ඩාර මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත විරෝධතාවක් බාරදී තිබේ.

කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපතිවරයෙකු වන බණ්ඩාර මහතා ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාටද පිටපත් යොමු කරමින් එම විරෝධතාවයෙන් පෙන්වාදී ඇත්තේ නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගම්හි නියෝජිතයන් අදාළ සංගමයට අයත් බල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට සහතික කර ගත යුතු බවයි.  ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගම් නියෝජනය කරමින් නිලවරණයට සහභාගි වන නියෝජිතයන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මතුවී ඇතැයි කියන ගැටලු පිළිබඳව අවධාරණය කරමින් උපසභාපති ධුර අපේක්ෂකයා එම  විරෝධතාව බාරදී ඇතැයි ද වාර්තා වේ.

ඒ පිළිබඳව  ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් නිලවරණ කමිටුව දැනුවත් කිරීමට පියවර ගත් බවයි. එහිදී ඡන්ද නියෝජිතයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ දී වඩාත් අවධානය යොමුකරන ලෙස නිලවරණ කමිටුවට උපදෙස් දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

මේ අතර වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසුවේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන නියෝජිතයන් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නැගී නැති බවයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වොලිබෝල් සංගමයේ ලේකම්වරයා සහ සභාපතිවරයා අනුමතකර එවන නියෝජිතයන් එහිදී පිළිගන්නා බවත් ලේකම්වරයා පැවසීය.

වත්මන් සභාපති, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙන් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා එහි වත්මන්  ජ්‍යෙෂ්ඨ උපසභාපති කංචන ජයරත්න මහතා දැනටමත් නිතරගයෙන් පත්ව සිටියි. වත්මන් ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක, වත්මන් භාණ්ඩාගාරික තුෂාර සම්පත් පෙරේරා,  උපලේකම් ධුර දෙකක් සඳහා  සමන්සිරි අබේවර්ධන, කාන්තසිරි  මීගමුවගේ, උපභාණ්ඩාගාරික ධුරයට අසංක රාජපක්ෂ යන මහත්වරු  යළිත් නිතරගයෙන් පත්ව සිටිති.

කෙසෙ වෙතත් උපසභාපති ධුර හයක් සඳහා නාමයෝජනා අටක් ඉදිරිපත්ව තිබේ. ඒ අන්දමට ජාතික සංවිධායක ධුරයට ද නාමයෝජනා දෙකක් ඉදිරිපත්ව තිබේ.

කාරක සභාව සඳහා කාන්තාවක්ද ඇතුළුව,  ධුර 11ක් සඳහා නාම යෝජනා 13ක් බාරදී තිබේ. එහිදී කාන්තා නියෝජනයට නිතරග පත්වීම් කෙරේ.

හෙට පැවැත්වෙන වොලිබෝල් නිලවරණය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ව්‍යවස්ථාපිත හා විශේෂිත යන සංගම් 98 ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටියි. මුළු ඡන්ද එකතුව 196 කි. නිලවරණයට පෙර මහ සභා රැස්වීම හෙට පෙරවරු 9.00 ට ආරම්භ වේ.


අදහස් (0)

වොලිබෝල් නිලවරණයට පිට අයත් එනවා යයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.