Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මාලදිවයිනෙන් වියදම්... ශ්‍රී ලංකාවෙන් ඇප

මාලදිවයිනෙන් වියදම්... ශ්‍රී ලංකාවෙන් ඇප

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාලදිවයිනේ අනුග්‍රහයෙන් එරට තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙක අද (14) වන විට සහභාගි වී තිබූ තරග හතරෙන්ම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

මාලදිවයින එරට තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එරටට දැනුම්දී ඇත්තේ, වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා මැද ඊට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි කිරීම දුෂ්කර කටයුත්තක් බවයි.

ඒ අනුව, ඒ සඳහා වියදම් ලබාදීමට මාලදිවයින් ජාතික වොලිබෝල් සංගමය එකඟ වීමෙන් පසුව ඔවුන් සපයා දුන් ගුවන් ප්‍රවේශපත්‍ර හා නවාතැන් පහසුකම් සපයා ගනිමින් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම් ‘මාලේ’ නුවරට ළඟා වී තිබේ.

කෙසේ වුවත්, ක්‍රීඩා අමාත්‍යාංශය විදෙස් තරග සංචාර සඳහා හඳුන්වා දුන් නව රෙගුලාසි යටතේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන තුන බැගින් වන ඇප බැඳුම්කරවලට අත්සන් කිරීමට සිදුව තිබේ.

ඒ අතර, මෙම තරග සංචාරයට නිර්දේශ වී සිටි යුද හමුදා ක්‍රීඩා සමාජවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනිවාර්යයෙන්ම රජයේ සේවකයන් විය යුතු තවත් පුද්ගල ඇප බැඳුම්කර දෙකකට අත්සන් කිරීමට ද සිදුව තිබේ.

මෙම පුද්ගල ඇප බැඳුම්කර අත්සන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ මුහුණුවරක් ගැනීමෙන් තරග සංචාරයට නිර්දේශ වී සිටි ජාතික (පිරිමි) වොලිබොල් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකුට තරග සංචාරය මගහැර ගිය බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රටවල් කිහිපයකින්ම ශ්‍රී ලංකාවට තරග සංචාර සඳහා කළ ආරාධනා, වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා මැද ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබෙන බවයි.

 


අදහස් (0)

මාලදිවයිනෙන් වියදම්... ශ්‍රී ලංකාවෙන් ඇප

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.