Last Update  :  2025-05-05 10:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හොකී තරග පාවාදීමක් ගැන චෝදනා

හොකී තරග පාවාදීමක් ගැන චෝදනා

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රීඞ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී දැන් පැවැත්වෙන 58 වැනි ජාතික හොකී තරගාවලියේ අද (19) පැවැති තරගයකදී රාජ්‍ය සේවා කණ්ඩායම විසින් මාතර දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 28-0 කින් පරාජයට පත් කිරීම සැකයට තුඩු දෙන තරග ප්‍රතිඵලයක් බවත් එහි තරග පාවාදීමක් ඇතිදැයි සොයා බලන ලෙසත් ඉල්ලා වෙළෙඳ සේවා හොකී කණ්ඩායම තරග සංවිධායකයන්ට විරෝධතාවයක් භාරදී තිබේ.

රාජ්‍ය සේවා කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් නොමැති බව කියන ක්‍රීඩකයකු එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගැනත් වෙළඳ සේවා කණ්ඩායම එම විරෝධතාවෙන් කරුණු දක්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
එම විරෝධතාවයෙන් වෙළෙඳ සේවා ක්‍රීඩා සමාජය අවධාරණය කර ඇත්තේ මතභේදයට තුඩුදුන් එම තරගයේ ප්‍රතිඵලය සැලසුම් සහගතව වෙනස් කිරීම තුළින් තරගාවලියේ ඉදිරියට යාම සඳහා ඇතැම් කණ්ඩායම්වලට වාසිදායක තත්ත්වයන් නිර්මාණය වූයේද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවයි.

එයින් තරගාවලියේ අවසන් ප්‍රතිඵලයටද බලපෑමක් කිරීමට ඉඩ තිබූ බවත් තරගාවලියේ ඉදිරි තරගවලදී මුණ ගැසෙන ප්‍රතිවාදින් උපක්‍රමශීලීව වෙනස් කිරීමට එමගින් උත්සහ දැරුවේද යන්න ගැනත් එහිදී අවධානයට යොමු කළ යුතු බව වෙළෙඳ සේවා ක්‍රීඩා සමාජය සිය විරෝධතාවයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ගෝල 28-0 කින් රාජ්‍ය සේවා ක්‍රීඩකයන් හමුවේ මාතර කණ්ඩායම පරාජයට පත්වූ මෙම තරගයේ පළමු භාගය ගෝල 15-0 ක් ලෙස රාජ්‍ය සේවා කණ්ඩායම ඉදිරියෙන් පසුවී තිබේ. තරගය පැයක කාලයක් පැවැති අතර ලකුණු සංඛ්‍යා 28-0 ක් වීම යනු රාජ්‍ය සේවා කණ්ඩායම ආසන්න වශයෙන් සෑම විනාඩි දෙකකට වරක් ගෝලයක් ලබාගැනීමයි. මෙම තරගයේදී දෙපිලේ හැසිරීමද විරෝධතාවයෙන් ප්‍රශ්න කර තිබේ.

හොකී ජාතික තරගාවලි ඉතිහාසයේ එක තරගයකදී කණ්ඩායමක් ලබාගත් ගත් වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසත් එය වාර්තාවී තිබේ. දැන් පැවැත්වෙන 58 වැනි ජාතික හොකී තරගාවලියේ මූලික වටයේ පැවැති තරගයකදී සන්නද්ධ සේවා කණ්ඩායම ගෝල 20-0 ක ජයක් ලැබීය.

වෙළෙඳ සේවා ක්‍රීඩා සමාජයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසුවේ මත්භේදයට තුඩු දුන් තරගයේ වාර්තාවූ ගෝල පරතරය තරගාවලියේ අර්ධ අවසන් හා අවසන් පූර්ව වටයට දැඩි බලපෑමක් එල්ල විය හැකි සිදුවීමක් බවයි.

මේ සම්බන්ධයෙන් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ අදාළ විරෝධතාවය පිළිගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙම 24 වැනිදා විමර්ශනයක් පැවැත්වෙන බවත්ය.

කෙසේ වෙතත් තරගාවලිය දිගටම පවත්වා ගෙන යාමට තරග සංවිධායකයන්ට උපදෙස් දුන් බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.

හෙට (21) අවසන් තරග පැවැත්වීමට නියමිත ජාතික හොකී ශූරතාවලිය (2017) ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි. ඊට හේතුවී ඇත්තේ වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබීමයි.

විරෝධතාකරු වන වෙළඳ සේවා කණ්ඩායම අද පෙරවරුවේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයකදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ගෝල 4-2 කට පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.  

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

හොකී තරග පාවාදීමක් ගැන චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.