Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හතුරුසිංහ ඇතුඵ 6 ක් ගෙදර යැවීමේ සූදානමක්

හතුරුසිංහ ඇතුඵ 6 ක් ගෙදර යැවීමේ සූදානමක්

editorial - 2019 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A



(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට...)


එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇතැයි දැනගන්නට තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට නිලධාරීහූ දස දෙනකු ඇතුළත් වන අතර ඒ අතර විදේශිකයන් තිදෙනකු සිටිති.

විදේශිකයන් වන ස්ටීව් රික්සන් මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද, ජෝන් ලුවිස් මහතා පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ද, නික් ලී මහතා අභ්‍යාසකවරයා ලෙස ද, කටයුතු කරති.

මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස ද, අජන්ත වත්තේගම මහතා භෞතචිකිත්තකවරයා ලෙස ද, ලෝක කුසලාන කණ්ඩායමේ කටයුතු කරති.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන මහතා සැපයුම් කළමනාකරු ලෙස ද, කටයුතු කරති.
පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බව වාර්තා වේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද උපදෙස් ලබාගැනීමෙන් පසුව අදාල නිලධාරීන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

“අපේ කණ්ඩායම නැවත ලංකාවට ගියාම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් වැඳගත් තීරණ රැසක් ගන්න වෙනවා. දැනට ඉවත් කරන නිලධාරීන්ගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් අපි දැඩි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන නවවැනි සහ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව අනිද්දා (06) ලීඞ්ස්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග තුනක් ජය ලබා තරග තුනක් පරාජයට පත්වූ අතර තරග දෙකක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

මෙහිදී ශ්‍රී ලංකා පිල විශේෂයෙන් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම යන අංශ දෙකෙන් දැඩි පසුබෑමක් ප්‍රදර්ශනය කළේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාරිපාලනයට, තේරීම් කමිටුවට සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට විවේචන එල්ල වෙමින් තිබේ.

ලීඞ්ස්හිදී පැවැති ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසියක් අතරතුරදී පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වීම පිළිබඳව තමන් ද දැඩි කණගාටුවට පත්ව සිටින බවයි.
 
“මම ගොඩක් කණගාටුවට පත්වෙනවා අපිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම ගැන. මෙම තරගාවලිය ආරම්භයේදී මම අවසන් වටයේ කණ්ඩායම් හතරට පැමිණීම පිළිබඳව සහ ඊට වඩා ඉදිරියට යෑම පිළිබඳව අවධානය යොමු කරලා තිබුණේ”

“මම ගොඩක් දෙවල් සැලසුම් කර තිබුණා නමුත් ලෝක කුසලාන තරගාවලියේ මේ කාලය ඇතුළත ගොඩක් දේවල් වුණා. අපි උත්සහ කළා අවසන් කණ්ඩායම් හතරට එන්න නමුත් එය කරන්න බැරි වුණා” යැයි එහිදී හතුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

චන්දික හතුරුසිංහ මහතා පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව ඔහු යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 32 කට සහභාගි වී තරග 21 ක්ම පරාජයට පත්ව තිබේ. තරග 10 ක් පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා පිල චන්දික හතුරුසිංහ මහතා යටතේ 2018 වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමු වරට පරාජය වෙමින් ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඉන් පසුව මෙම වසර මුල නවසීලන්තය හමුවේ 3-0 කින් සහ දකුණු අප්‍රිකාව හමුවේ 5-0 කින් එක්දින තරගාවලි පරාජ ලැබීය.

හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නාකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අනුව ඔහු නායකත්වයට පත්විය. පසුගිය වසරේ අග ආසියානු කුසලාන තරගාවලි පරාජයේ වගකීම මැතිව්ස් පිට පවරා ඔහු ඉවත් කළ අතර එම පරාජයට පුහුණුකරු ද වගකිවයුතු බවට මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක් ද යොමු කළේය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන හිටපු ක්‍රීඩකයන් ඇතුඵ කණ්ඩායම් කළමනාකරුවන් තිදෙනකු සේවයෙන් ඉවත් කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේදී පසුගිය පෙබරවාරි මස ලැබූ ටෙස්ට් ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩක විවේකාගාරය තුළ ක්‍රීඩකයන්ගේ විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පළවූ අතර එම සිද්ධියකට ද කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල විය.


අදහස් (3)

හතුරුසිංහ ඇතුඵ 6 ක් ගෙදර යැවීමේ සූදානමක්
  • Gayan Friday, 05 July 2019 05:21 AM

    නියමයි...‍හොඳ තීරණයක්..

    Reply 0       0

    ස්නෙහා Friday, 05 July 2019 05:49 AM

    සංගා ‌මහේල අයින් උනාට පස්සෙ ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ‌හොද ප්‍රවණතාවයක් දැක්ක‌ෙ යන්තං දැං තමයි. මම නම් හිතුවෙ අපි ඇෆ්ගනිස්ථානෙනුත් කාල ‌‌‌ගෙදර එයි කියල. ඒ උනාට අපේ ටී්ම් එක දැන් ‌‌හොදට හැදීගෙන එනවා. සංගා මහ‌ේල දිල්ශාන් වගේ එක දිගට වාර්තා තියපු නිත්‍ය සාමාජිකයෝ ‌‌‌‌‌සෙට් එකක් එක පාර අයින් උනාම ඒ බර කරට අරන් කට්ටය හැදෙන්න කල් යනව. මැතිව්ස්ට චන්දිමාල්ට තිසරලට ඒ වගකීම දරා ගන්න අමාරු උනා. කට්ටය දිමුත්ව නිකන් බිල්ලට තියල යැව්වෙ. ඒ උනාට එයා තමන්ගෙ වැඩේ ‌හොදටම කළා. කුසල් අව්ශ්ක හොඳට සෙල්ලම් කරනවා . දැන් ටීම් එක නියමයි අපිට ‌පේන විදියට නම්. අඩුම ගානේ ‌හෙට මැච් එක ඉවර ‌වෙනකල් ඉන්න ඔනෙ ‌නේද ‌‌මෙහෙම නිව්ස් එකක් එලියට දාන්න.

    Reply 0       0

    rikaz Friday, 05 July 2019 07:32 AM

    දුර්වල සන්නිවේදනය. අපට තවමත් එක් තරගයක් ඉතිරිව තිබෙන නිසා කණ්ඩායමේ යහපත් මානසික මට්ටම පහත හෙළන මෙවැනි දේවල් නොකළ යුතුය.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.