Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සේවකයන්ගේ වැටුපට මුවාවී සල්ලි පිල්ලි ගියහැටි

සේවකයන්ගේ වැටුපට මුවාවී සල්ලි පිල්ලි ගියහැටි

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සේවකයන්ට වැටුප් ගෙවා ඇති ආකාරය දක්වමින් එහි මුදල් පෞද්ගලික ගිණුම් ගණනාවකට බැරකර තිබූ අයුරු අනාවරණය කර ගත් බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය. පාපන්දු සම්මේලනයේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 28කට ආසන්න මුදලක් අස්ථානගතවීමේ සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවැසීය.

සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට පාපන්දු සම්මේලනයේ මූල්‍ය කළමනාකරුවෙකු වැඩ තහනමට ලක්ව සිටිති. එම සිදුවීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන නවතම තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී පවසා සිටියේ මේ වන විට අනාවරණය කරගෙන තිබෙන ආකාරයට 2017 ජනවාරි 01 වැනිදා සිට ජූලි මාසය අවසානය වන තෙක් පමණක් මෙලෙස පාපන්දු සම්මේලනයේ අස්ථානගත වී තිබෙන මුදල රුපියල් මිලියන 19 කට ආසන්න වේ.

අනුර ද සිල්වා මහතා එහිදී මෙසේ ද පැවැසීය.

“මේ මුදල් අස්ථානගත කර ඇත්තේ පාපන්දු සම්මේලනයේ සේවකයන්ගේ වැටුප් ලබාදීම සඳහා සකස් කළ බැංකු නිවේදනය වංචනික ලෙස වෙනස් කිරීමෙන්. ඒ සඳහා පාපන්දු සම්මේලනයේ එවකට කටයුතු කළ භාණ්ඩාගාරිකවරයා හා ලේකම්වරයාගේ අත්සන්ද වංචා සහගතව එම ලේඛනවලට යොදාගෙන තිබෙනවා.”

“එහිදී අප තවදුරටත් බැංකු ලේඛන පරීක්‍ෂාවේ දී හෙළි කරගත්ත තොරතුරුවලට අනුව පාපන්දු සම්මේලනයේ සේවකයන් නොවන පිටස්තර පාර්ශ්වයන් ගණනාවකට ද එහි මුදල් බැර කර තිබුණු බවට හෙළිකර ගත්තා” යයිද අනුර ද සිල්වා මහතා පැවසීය.

මාධ්‍ය හමුවේදී දැනට වැඩ තහනමට ලක්ව සිටින මූල්‍ය කළමනාකරු විසින් සිදු වී ඇති වරද පිළිගනිමින් සිය නීතිඥයන් මගින් පාපන්දු සම්මේලනයට යොමු කර තිබූ ලිපි හා දිවුරුම් පෙත්සම් කීපයක් සභාපතිවරයා විසින් කියවනු ලැබිණ. ඒ අතර මෙම මුදල් අවභාවිතයේදී පෞද්ගලික ගිණුම් ගණනාවක් වෙත පාපන්දු සම්මේලනයේ මුදල් වැටුප් ලෙස බැර කර තිබූ අයුරු දැක්වෙන ලේඛනයක් ද ඔහු විසින් මාධ්‍යවේදීන් හමුවේ කියවනු ලැබීය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා චෝදනාවට ලක්ව සිටින මූල්‍ය කළමනාකරු විසින් පාපන්දු සම්මේලනයට දැනුම් දී තිබෙන පරිදි මෙම සිදුවීමට අදාළ අලාභය ඔහු පෞද්ගලිකවම පියවා ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීමට කර තිබෙන ඉල්ලීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බවද පැවැසීය.

මුලින් රුපියල් මිලියන 10ක් ගෙවා අවසන් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අය විසින් කර තිබෙන පැමිණිල්ල ඉවත් කරගත යුතු යැයි ඔහු සිය නීතිඥයන් මගින් අපට දැනුම් දී තිබෙනවා. නමුත් ඊට පාපන්දු සම්මේලනය එකඟතාවය පළ කළේ නෑ යැයි ද ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අනුර ද සිල්වා මහතා පැවැසීය.

කෙසේ වුවත් ඔහු අවධාරණය කර සිටියේ මෙම සිදුවී තිබෙන මුදල් වංචාවට පාපන්දු සම්මේලනයේ එවකට කටයුතු කළ නිලධාරීන් කීප දෙනෙකු ද අනුබල දුන් බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක දක්වා ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් කෙරෙන විමර්ශනවල දී එහි සත්‍ය අසත්‍යතාව හෙළිකරගත හැකි වෙනු ඇති බවත්ය. පාපන්දු සම්මේලනය නොබෝදා හදිසි විධායක සභා හා මධ්‍යම කමිටු රැස්වීම් කැඳවමින් තීරණය කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කීර්තියක් උසුලන විගණන සමාගමක් වන කේ.පී.එම්.ජී. විගණන සමාගම ලවා වසර 2013 සිට වන පරිදි පාපන්දු සම්මේලනයේ එතෙක් සියලු ගනුදෙනු හා විගණන කටයුතු සම්බන්ධයෙන් විගණක විමර්ශනයේ ආරම්භ කිරීමය.

ඒ අතර පාපන්දු සම්මේලනය අභ්‍යන්තරයෙන් කෙරෙන විමර්ශනය වඩාත් ස්වාධීන හා විනිවිදභාවයෙන් සිදුකිරීම සඳහා අළුතෙන් ඊට විනය කමිටුවක් ස්ථාපිත කෙරේ. මීට පෙර මේ සම්බන්ධයෙන් විධායක කමිටුව යෝජනා කර තිබූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඒ අනුව ක්‍රියාත්මක නොවේ.

පාපන්දු සම්මේලනයේ එම මුදල් වංචාව සම්බන්ධයෙන් වූ සිදුවීම මේ වන විට ආසියානු පාපන්දු සමුළුවේ අවධානය යොමුව තිබේ. මෙම සිදුවීමට ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන් අරමුදල් ද සම්බන්ධ කර ගෙන තිබේදැයි විමර්ශනයක් කෙරෙන තුරු මෙම වසරට හිමි එම අරමුදල් ඉතිරිය ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවා තිබේ. එහෙත් එකී විමර්ශනයෙන් පසුව නැවත ඉතිරි අරමුදල් ලබාදීමට ආසියානු සමුළුව ප්‍රතිඥා දී තිබෙන බවද අනුර ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී තවදුරටත් අවධාරණය කර සිටියේය.

 


අදහස් (0)

සේවකයන්ගේ වැටුපට මුවාවී සල්ලි පිල්ලි ගියහැටි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.