Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
ශානුක අරවින්ද
-------------------

සබරගමුව පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන වරුසවිතාන විසින් දිනාගන්නා ලදි. වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය.

අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා පරාජය කරමින් සුපුන වරුසවිතාන විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 11/13, 11/7, 11/9, 11/9 ලෙසින් සටහන් විය.

පිරිමි අවසන් පූර්ව වටයේදී වට 3-1 ක් ලෙස (8/11, 11/9, 11/4, 11/7) නිර්මල ජයසිංහ පරාජය කරමින් සෙනුර අවසන් මහ තරගයට පිවිසියේය. සුපුන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ක්‍රිෂාන් වික්‍රමරත්නට එරෙහිව වට 3-2 ක (11/2, 11/7, 9/12, 3/11, 11/9) ජයක් වාර්තා කරමිනි.

ඉෂාරා මධූරංගි විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස නාවික හමුදාවේ මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කරමිනි. කාන්තා අවසන් තරගයේ ලකුණු තත්ත්වය 6/11, 11/8, 11/5, 11/8 ලෙසින් සටහන් විය.

කාන්තා අවසන් පූර්ව වටයේදී ඉෂාරා හමුවේ වට 3-2 ක් ලෙස (11/7, 13/11, 10/12, 9/11, 11/8) රයිගම් පුද්ගලික සමාගමේ එරන්දි වරුසවිතාන පරාජයට පත්වූ අතර මුතුමාලි හමුවේ වට 3-2 ක් ලෙස (11/8, 11/5, 4/11, 7/11, 11/9) නාවික හමුදාවේම ක්‍රීඩිකාවක වන හංසනී පියුමිලා පරාජයට පත්වූවාය.

මෙම තරගාවලියේ වයස 18 න් පහළ සහ 15 න් පහළ බාලක ශූරතා දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් වූයේය. බාලක වයස 15 න් පහළ අවසන් තරගයේදී වට 3-0 කින් කොළඹ රාජකීය විදුහලේ ජනිත් බටුගෙදර පරාජය කළ සෙනුර, 18 න් පහළ අවසන් තරගයේදී 3-1 කින් කොළඹ ආනන්ද විදුහලේ හිරුණ වරුසවිතාන පරාජය කළේය.
බාලිකා ශූරතා දිනාගැනීමට මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සමත් වූවාය.
 
බාලිකා වයස 15 න් පහළ අවසන් තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සා පරාජය කළ බිමන්දි, ඉන් නොනැවතී වයස 18 න් පහළ අවසන් තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කිරීමටද සමත් වූවාය.

කෑගල්ල නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්, ආයතන, ක්‍රීඩා සමාජ සහ සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේසපන්දු සංගමයේ සභාපති, වැවිළි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා එක්විය.

 


අදහස් (0)

සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.