Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුපර් ලීග් කුසලාන දෙකම ගුවන් හමුදාවට

සුපර් ලීග් කුසලාන දෙකම ගුවන් හමුදාවට

editorial - 2022 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී නිමාවට පත්වූ සුපර් ලීග් ‘මංචි’ කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දෙකම දිනා ගැනීමට ගුවන් හුමදා ක්‍රීඩා සමාජ සමත් වූහ.

එහිදී විශේෂිතම සිදුවීම වූයේ, පසුගිය තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් විදුලිබල මණ්ඩල කණ්ඩායම මෙන්ම කාන්තා ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම ද අවසන් මහා තරගවලදී අත්කරගත් පරාජයයි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සුපර් ලීග් (පිරිමි) ශූරතාව දිනා ගත්තේ වසර 18කට පසුවය. එසේම එකම ක්‍රීඩා සමාජයක කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතා දෙකම එකවර දිනා ගැනීමට සමත් වීම ද මෙවර තවත් කැපී පෙනෙන්නකි.

නාත්තන්ඩිය ‘ධම්මිස්සර’ විදුහලෙන් බිහි වූ ප්‍රබලතම ප්‍රහාරකයකු වන මහේල ඉන්දීවරගේ දක්ෂතා මෙවර ගුවන් හමුදා (පිරිමි) කුසලාන දිනා ගැනීමේදී ප්‍රබලතම සාධකයක් බවට පත්විය. ගියවර ශූරතාව දිනා සිටි ප්‍රබල විදුලිබල මණ්ඩල කණ්ඩායම පසුබැස්ස වීමට ඉන්දීවරගේ පන්දු පහර සමත්වූ අතර, එය සනාථ වන්නේ ඔහු අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නාට පමණක් නොව පිටියේ දක්ෂතම ක්‍රීඩකයාටත් හිමි ද්විත්ව සම්මාන දිනා ගැනීමට සමත් වීමෙනි. ඔහු ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන වෘත්තීය ලීග් වොලිබෝල් තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියේය.

දිවයිනේ නම ගිය කාන්තා හා පිරිමි වොලිබොල් කණ්ඩායම් 18ක් මෙම තරගාවලියට එක්ව සිටියහ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් (මංචි) බිස්කට් ආයතනයේ අනුග්‍රහයෙන් තරගාවලිය සංවිධානය කළේය.

ලබන වසරේදී (2023) පැවැත්වීමට නියමිත ආසියානු වොලිබෝල් සමාජ (කාන්තා - පිරිමි) වොලිබෝල් තරගාවලිය සඳහා මෙම ජයග්‍රාහී කණ්ඩායම් දෙක නිර්දේශ වන බව වොලිබෝල් සම්මේලනය පවසයි.


ජාතික ශූරතා ‘මංචි’ සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග ප්‍රතිඵල

♦ (කාන්තා): ගුවන් හමුදා කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3/1 කට (17/25 – 25/21 – 25/23 – 25/20) පරාජය කරන ලදී.

පිටියේ විශේෂ සම්මාන:

පිටියේ දකුණු අන්තයේ දක්ෂතම ක්‍රීඩිකාව (අවුට් සයිඩ් හිටර් - 1):- තිළිණි වාසනා පෙරේරා (යුද හමුදාව)
පිටියේ දකුණු අන්තයේ දක්ෂතම ක්‍රීඩිකාව (අවුට් සයිඩ් හිටර් - 2):- දිනේෂා ප්‍රසාදිනි (ගුවන් හමුදාව)
දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව - 1:- ඉරේෂා උමයංගනී (ගුවන් හමුදාව)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව – 2:- චතුරිකා රණසිංහ (ගුවන් හමුදාව)
දක්ෂතම පිටියේ වම් අන්තයේ (ඕෆ්සයිඩ්) ක්‍රීඩිකාව:- අප්සරා සෙව්මාලි සෙනවිරත්න (යුද හමුදාව)
දක්ෂතම පන්දු ඔසවන්නිය:- ජේ.ඩබ්.පී. තුෂාරි (ගුවන් හමුදාව)
දක්ෂතම ලිබරෝ ක්‍රීඩිකාව:- තමරා කුමාරි දිසානායක (යුද හමුදාව)
පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව: අනුෂා අබේසිංහ (ගුවන් හමුදාව)

 

♦ පිරිමි: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය වට 3-0කින් (27/25 – 25/22 – 25/21) පරාජය කරන ලදී.

පිටියේ විශේෂ සම්මාන:-

පිටියේ දකුණු අන්තයේ දක්ෂතම ක්‍රීඩකයා (අවුට් සයිඩ් හිටර් - 1) විදුර ප්‍රභාත් (විදුලි බල)
දකුණු අන්තයේ දක්ෂතම ක්‍රීඩකයා (අවුට් සයිඩ් හිටර් - 2):- කේ. පෙරේරා (ගුවන් හමුදාව)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩකයා - 1):- මලික් චාමර (විදුලිබල මණ්ඩල)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩකයා - 2:- පසිඳු චන්ද්‍රසේකර (ගුවන් හමුදාව)
දක්ෂතම පිටියේ වම් අන්තයේ (ඕෆ්සයිඩ්) ක්‍රීඩකයා:- මහේල ඉන්දිවර (ගුවන් හමුදාව)
දක්ෂතම පන්දු ඔසවන්නා:- මලීෂ ජයවර්ධන (ගුවන් හමුදාව)
දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා:- ජනිත ලක්රුවන් (ගුවන් හමුදාව)
පිටියේ දක්ෂතම ක්‍රීඩකයා:- මහේල ඉන්දිවර (ගුවන් හමුදාව)

මංචි සුපර් ලීග් (පිරිමි සහ කාන්තා) කුසලාන දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ වෙත උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අතින් ජය සංකේත ප්‍රදානය කළ අයුරු.
ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම් වෛද්‍ය අමල්  හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, එහි ලේකම් ඒ.එස්. නාලක, තරගාවලියට අනුග්‍රහය දැක්වූ  සිලෝන් (මංචි) බිස්කට් ආයතනයේ  නියෝජිත එහි සමූහ අධ්‍යක්ෂ, සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සභාපති රසික වික්‍රමසිංහ යන මහත්වරුද මෙහි වෙති.


අදහස් (0)

සුපර් ලීග් කුසලාන දෙකම ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.