Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිගින් දිගටම ටෙස්ට් තරග 2 තරගාවලි වලට සහභාගි වූ බංග්ලාදේශය, වසර හයකට පසු ප්‍රථම වතාවට තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. එහෙත් බංග්දේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගතහැකි වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ වලින් පසුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සම්පූර්ණ ටෙස්ට් තරගාවලියක් ලෙසින් සැලකෙන්නේ ටෙස්ට් තරග 3 කින් හෝ තරග 5 කින් සමන්විත තරගාවලියකි. එහෙත් මෑත කාලයේදී සීමිත ඕවර තරග වඩාත් ජනප්‍රිය වූ හෙයින් බොහෝ රටවල් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි-20 තරග 3 ක් ක්‍රීඩා කිරීමට උත්සුක වූහ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතය. කොරෝනා වසංගතය ලෝ පුරා පැතිර යාමෙන් පසුව ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමද සහභාගි වන පළමු වැනි අන්තර්ජාතික තරගාවලියද මෙයයි.
මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි.
මෙම තරගාවලිය සඳහා විස්සයි-20 තරග 3 ක්ද ඇතුළත් කරන ලෙස බංග්ලාදේශයෙන් තදබල ඉල්ලීමක් තිබුණ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ එම ඉල්ලීමට එකඟ විය නොහැකි බවකි.
“මොන තත්ත්වයන් යටතේ වුණත් අපි එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය නොවැම්බර් මාසයේදී සංවිධානය කරන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඒ හින්දා බංග්ලාදේශයත් එක්ක විස්සයි-20 තරග තුනක් සෙල්ලම් කරන්න බෑ... මොකද එහෙම වුණොත් ඒක අපේ එල්.පී.එල්. තරගාවලියත් එක්ක ගැටෙනවා“ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට පමණ කල්තබා ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම දින 21 ක කාලයක් ශ්‍රී ලංකාවේදී පුහුණු කඳවුරකට සහභාගි වීමටද සැලසුම් කර තිබේ. එම කාලය තුළ සියලු වියදම් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දරනු ලබනු ඇත.
දැනට වාර්තාවන තොරතුරු අනුව බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහෙත් බංග්ලාදේශ කණ්ඩායමට දින 14 ක නිරෝධායන කාලයකට මුහුණ දීමට සිදුවන අතර එම කාලය තුළදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ සංචරණ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සෞඛ්‍ය බලධාරීන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ පසුගිය ජූලි මාසයේදීය. කොරෝනා වසංගතය පැතිරීම යාම හේතුවෙන් මෙම තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට සිදුවිය.
තරගාවලියේ ටෙස්ට් තරග තුනෙන් එකක් අඩු කර ඒ වෙනුවට විස්සයි 20 තරග දෙකක් පැවැත්වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය හා සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබිණ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනත් නිලධාරියෙක් පවසා සිටියේ බංග්ලාදේශය හා විස්සයි-20 තරගාවලියකට යාම එල්.පී.එල්. තරගාවලිය අනතුරේ හෙළීමක් බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.