Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාර වැඩ බාරගනී

සංගක්කාර වැඩ බාරගනී

editorial - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) නව සභාපතිවරයා වශයෙන් අද (01 වැනිදා) වැඩ බාරගත්තේය. වසර 180 කට වැඩි ඉතිහාසයක් හිමි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ, ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු වැන්නා කුමාර් සංගක්කාරය.

ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයා වූ ඇන්තනි රේෆෝඞ් මහතා විසින් පසුගිය මැයි මාසයේදී පැවැති මහ සභා රැස්වීමේදී කුමාර් සංගක්කාර එහි නව සභාපතිවරයා වශයෙන් නම්කරන ලදි. සංගක්කාර වසරක කාලයක් මෙම ක්‍රීඩා සමාජයේ සභාපති තනතුර හොබවනු ඇත.

“එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ ගෞරවනීය සභාපතිවරයා වශයෙන් පත්වීමට ලැබීම සම්බන්ධයෙන් මට විශාල සතුටක් තියෙනවා. එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සෙසු සාමාජිකයන් හා එක්ව වෙහෙසීමෙන් වැඩ කරන්නත් ක්‍රිකට් ක්‍රීඩාවේ අගනා වර්ෂයක් සම්පූර්ණ කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා” යයි වැඩ බාරගැනීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර මහතා පැවසීය.

“අපි වඩාත් ආදරය කරන ක්‍රීඩාවට වැඩි වැඩියෙන් ආධාරකරුවන් එකතුකර ගැනීමේ හොඳ අවස්ථාවක් අපට ලැබී තිබෙනවා. එනිසා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් කරනු ලබන කාර්යයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන් දැනුවත් කළ යුතුයි” යයිද එම නිවේදනයේ සඳහන් වෙයි.
 
“එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරෙන් ඉවත්ව යන ඇන්තනි රේෆෝඞ් මහතා පැවසූවේ මෙම තනතුර බාරගැනීම සඳහා සංගක්කාරට වඩා හොඳ වෙනත් කෙනෙකු නැති බවයි.
 
“විවිධ ජාතීන් එකමුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින බලය කෙරෙහි තදින්ම විශ්වාස කරන ඔහු මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් කරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සාර්ථක තානාපතිවරයකු වනු නොඅනුමානයි”

“කුමාර්, ලෝඞ්ස්හිදී විතරක් නෙමේ (එම්.සී.සී.) ක්‍රීඩා සමාජයේ ගෝලීය ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහාත් සුවිශේෂී කාර්යභාරයක් කරාවි. එම්.සී.සී. සභාපති තනතුරට පත්වූ පළමුවැනි බි්‍රතාන්‍ය නොවන ජාතිකයා වශයෙන් ඔහුට ඇති කීර්තිය ඒ වෙනුවෙන් විශාල වශයෙන් උපකාරී වේවි.....මා මෙම තනතුර බාරදී යන්නේ ඉතාමත් ආරක්‍ෂිතව එය රැකගත හැකි අයකුටයි” යයිද රේෆෝඞ් මහතා පැවසීය.

මේ වන විට 41 හැවිරිදි වියේ සිටින සංගක්කාර ටෙස්ට් තරග 134 කදී ලකුණු 12,400 ක් ලබා සිටින අතර එම්.සී.සී. ක්‍රීඩා සමාජය සමග දීර්ඝකාලීන සම්බන්ධතා ඇති අයෙකි.
 
සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් වසර 2002 දී එම්.සී.සී. පිලට එරෙහිව ක්‍රීඩා කළේය. වසර 2011 දී කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනය කරමින් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව විද්වතුන්ගේත් ගෞරවයට පාත්‍ර වූ සංගක්කාරට 2012 දී එම්.සී.සී. ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනැමිණ. එම වසරේදීම එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවට එක්වූ සංගක්කාර තවමත් එහි ක්‍රියාකාරී සාමාජිකයෙකි.

පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේදී සහභාගි වූ අවසන් ටෙස්ට් තරගයේදී (2014) ලෝඞ්ස් පිටියේදී ශතකයක් ලබාගත්තේය.

 


අදහස් (0)

සංගක්කාර වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.