Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව ශ්‍රී ලංකාවට
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2023 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී ඊයේ (15) රාත්‍රියේ නිමාවට පත්වූ දෙවැනි මධ්‍යම ආසියානු  වොලිබෝල් (පිරිමි) තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලදී. එහිදී ප්‍රබල උස්බෙකිස්ථානය වට 3-0කින් පරාජය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව ගියවර තරගාවලියේද ශූරයන් ලෙස මෙවර කුසලාන රැක ගැනීමට සමත්වීම කැපී පෙනේ. 

මූලික වටයේ තරගයක දී පසුගිය බදාදා (11) දෙපිල මුණගැසීමේ දී උස්බෙකිස්ථානයට වට 3–2කින් පරාජයට පත්ව තිබිය දී ඊයේ තරගය වට 3–0 කින් ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලකුණු 25/14, 25/18, සහ 21/23ක් වන පරිදිය. 

ඒ අනුව සත්කාරය දරමින් මෙම තරගාවලියේ උසස්ම ප්‍රතිඵලය අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව එළඹෙන අන්තර් මහද්වීප ලීග් වොලිබෝල් (පිරිමි) තරගාවලියේ දී ආසියානු මහද්වීපය නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත්තේය. 

පසුගිය සඳුදා (9) කොළඹ දී තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව සත්කාරක ශ්‍රී ලංකාව මූලික වටයේ දී සෞදි අරාබිය (3/0), නේපාලය (3/0), ඇෆ්ගනිස්ථානය (3/2) හා බංග්ලාදේශය (3-1) පරාජයට පත් කළේය. එහෙත් උස්බෙකිස්ථානයට වට 3-2 කින් පරාජය විය. 

එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් ශ්‍රී ලංකාව හා එහි දෙවැනි තැන ගත් උස්බෙකිස්ථානය අවසන් මහ තරගයට නිර්දේෂ ලැබීය. ඒ අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන ගත් ඇෆ්ඝනිස්ථානය හා සෞදි අරාබිය අතර ඊයේ පස්වරුවේ දී නිමාව දුටු තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් වට 3-0 කින් ජය ගත්තේ ඇෆ්ඝනිස්ථානය විසිනි. ඒ ලකුණු 25/14, 25/15 හා 25/18 ක් පරිදිය.

ඊයේ අනුශූරතාව ලද උස්බෙකිස්ථානය මූලික වටයේ දී ඇෆ්ඝනිස්ථානයට පමණක් පරාජයට පත්විය.

දීප්ත රොමේෂ්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙවර මධ්‍යම ආසියානු කුසලාන දිනා ගැනීමේ දී ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව ඉටුකළේ ප්‍රවීණ වොලිබෝල් පුහුණුකරු චන්න ජයසේකර මහතායි.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයන් අට දෙනකු ඇගයීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනකුට සම්මාන හිමි විය. එහිදී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ඉන්දීවර බණ්ඩාරට ප්‍රදානය කෙරිණ. 

දක්‍ෂතම මැද පෙළ පන්දු වළක්වන්නා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ අයේෂ් දිල්හාර පෙරේරාටත් දක්‍ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා ලෙස ලසිදු මෙත්මල් වසන්තප්‍රියටත්, දක්‍ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ෂෙහාන් විමුක්ති බණ්ඩාරටත් ශූරතා සම්මාන හිමි විය.

ජයසංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති මොහොමඩ් ලතීෆ් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, එහි ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.


අදහස් (0)

ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.