Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ශූරයන්ගේ තරගාවලියත් අහිමිවෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකාවට ශූරයන්ගේ තරගාවලියත් අහිමිවෙයි

editorial - 2023 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සිට..)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිව සිටි ශ්‍රී ලංකාවට, 2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාවද අහිමිවිය. ඒ බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 5 ක පරාජයක් ලැබීම හේතුවෙනි. ඒ අනුව මෙවර ‍ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවට සිදුවූයේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා මෙන් සිදුවීමකි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් 8 අතරට පැමිණිය යුතුව තිබිණ. එහෙත් සහභාගි වූ තරග 9 න් 7 ක්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත්කළේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනියා ලෙසිනි. ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින එංගලන්තයට සහ බංග්ලාදේශයට තවත් තරගය බැගින් ඉතිරිව තිබෙණ නමුත් ලකුණු සටහනේ පහළට ඇද වැටීමට නම් ඔවුන් එම තරගවලදී අති දැවැන්ත පරාජයන්ට ලක් විය යුතුය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 23.2 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් රැස්කළ ඩැරිල් මිචෙල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන සිවුවැනි කණ්ඩායමට බවට පත්වීමට වැඩි අවස්ථාවක් හිමිකර ගැනීමටද නවසීලන්තයට හැකි විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩෙවෝන් කොන්වේ (45) සහ රචින් රවින්ද්‍ර (42) නවසීලන්තය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 42 කට මුහුණදී සිටි කොන්වේගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත වී තිබූ අතර පන්දු 34 කදී වාර්තා වූ රවින්ද්‍රගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46.4 ‍අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. නිලකුණු ඕවර 3 ක් සමග ඕවර 10 ක් යැවූ ට්‍රෙන්ට් බෝල්ට්, ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රචින් රවින්ද්‍ර, මිචෙල් සෑන්ට්නර් සහ ලොකී ෆර්ගසන් කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.

මුළු ලකුණු සංඛ්‍යාව 128 ක් වන වට ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ලත් බිඳවැටුණු අතර එතැන් පටන් අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩිල්ෂාන් මධුෂංක (19) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මහීෂ් තීක්ෂණ (නොදැවී 38) සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් විය. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ‍එක්දින ලෝක කුසලාන තරගයකදී 10 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවද විය.  

ඕවර 14.5 ක පුරා කඩුල්ලේ රැදෙමින් පන්දුවට පහරදුන් තීක්ෂණ සහ ඩිල්ෂාන් පැයක පමණ කාලයක් නවසීලන්ත පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන්ද වෙහෙසට පත්කළහ. එහිදී පන්දු 91 කට මුහුණදුන් තීක්ෂණගේ ඉනිමට හ‍තරේ පහර 3 ක්ද, පන්දු 48 කට මුහුණදුන් ඩිල්ෂාන්ගේ ඉනිමට හතරේ පහර 2 ක්ද ඇතුළත් විය. රචින් රවින්ද්‍රගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ඩිල්ෂාන් දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් විය.

පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හ‍තරේ පහර 9 ක් සමගින් සිය 17 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් පෙරේරා (51), ඉන් පන්දු 5 කට පසුව යාර ති‍‍හේ සීමාවට ඉහළින් පහරක් ගැසීමට තැත් කිරීමේදී දැවී ගියේ ලොකී ‍ෆර්ගසන්ගේ පන්දුවක් හමුවේ කවර් කලාපයේ පන්දු රකිමින් සිටි මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමිනි. කුසල්ගේ අර්ධ ශතකය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයද විය.

ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුව ටිම් සවුතිගේ පළමු ඕවරයේදී ලබාදුන් පහසු උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් අතින් ගිළිහියෑමත් සමග තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාකරගත් කුසල්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සවුතිගේ දෙවැනි ඕවරයේදී ලකුණු 14 ක්ද, තෙවැනි ඕවරයේදී ලකුණු 18 ක්ද රැස්කරමින් සිය ප්‍රහාරය ආරම්භ කළේය.

තරගාවලිය පුරා ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට (2) මෙම තරගයේදී ලකුණු අතරට පිවිසීමට ටිම් සවුති ඉඩක් ලබා නොදුන් අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ට්‍රෙන්ට් බෝල්ට්, ශ්‍රී ලංකා පිතිකරුවන් ‍තිදෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. නායක කුසල් මෙන්ඩිස් (6), සදීර සමරවික්‍රම (1) සහ චරිත් අසලංක (8) එම ක්‍රීඩයෝ වූහ.  

ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී අසංලක සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 22 කදී කඩුලු 38 ක් එක්කිරීමට කුසල් පෙරේරා සමත් වුවද, පන්දු 7 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70 කට කඩුලු 5 ක් ලෙස ඉතා අසීරු තත්වයකට ඇද වැටිණ. අසංලක දවාගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු ප්‍රතික්ෂේප කළද, විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය මගින් එය දැවී යෑමක් බවට සනාථ කරගැනීමට නවසීලන්ත ක්‍රීඩ‍කයෝ සමත් වූහ.

පත්ව තිබූ තත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුදවාගැනීමට උත්සාහ ගත් ඇන්ජලෝ මැතිව්ස් (16) සහ ධනංජය ද සිල්වා (19) ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 34 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් මිචෙල් සෑන්ට්නර්ගේ පන්දු හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඩර්ලි මිචෙල් අතට එකම ආකාරයේ උඩ පන්දු දෙකක් ලබා දෙමින් මැතිව්ස් මෙන්ම ධනංජයද දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි.  

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග‍යට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටි අතර පාකිස්තානයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ලෝකී ‍ෆර්ගසන් මෙම තරගයේදී නවසීලන්තය කණ්ඩායමට කැඳවා සිටියේය.

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ලේතම් ප.සවුති               2
කුසල් පෙරේරා - ඇ.සෑන්ට්නර් ප.ෆර්ගසන්   51
කුසල් මෙන්ඩිස් - ‍ඇ.රවින්ද්‍ර ප.බෝල්ට්           6
සදීර සමරවික්‍රම - ඇ.මිචෙල් ප.බෝල්ට්           1
චරිත් අසලංක - ක.මු. කළා ප.‍බෝල්ට්            8
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.මිචෙල් ප.සෑන්ට්නර් 16
ධනංජය ද සිල්වා - ඇ.මිචෙල් ප.සෑන්ට්නර්    19
චාමික කරුණාරත්න - ඇ.ලේතම් ප.ෆර්ගසන් 6
මහීෂ් තීක්ෂණ - නොදැවී                              38
‍දුෂ්මන්ත චමීර - ඇ.බෝල්ට් ප.රවින්ද්‍ර              1
ඩිල්ෂාන් මධුෂංක - ඇ.ලේතම් ප.රවින්ද්‍ර        19
අතිරේක                                                        4
ඕවර 46.4 කදී සියලු දෙනා දැවී                   171

කඩුලු වැටීම :
1-03(නිස්සංක), 2-30(මෙන්ඩිස්), 3-32(සමරවික්‍රම), 4-70(අසලංක), 5-70(පෙරේරා), 6-104(මැතිව්ස්), 7-105(ධනංජය), 8-113(කරුණාරත්න), 9-128(චමීර), 10-171(ඩිල්ෂාන්)

පන්දු යැවීම :
ට්‍රෙන්ට් බෝල්ට් 10-3-37-3, ටිම් සවුති 8-0-52-1, ලොකී ෆර්ගසන් 10-2-35-2, මිචෙල් සෑන්ට්නර් 10-2-22-2, රචින් රවින්ද්‍ර 7.4-0-21-2, ග්ලේන් පිලිප්ස් 1-0-03-0


නවසීලන්තය
ඩෙවොන් කොන්වේ - ඇ.ධනංජය ප.චමීර     45
රචින් රවින්ද්‍ර - ඇ.ධනංජය ප.තීක්ෂණ           42
කේන් විලියම්සන් - ප.මැතිව්ස්                      14
ඩැරිල් මිචෙල් - ඇ.අසලංක ප.මැතිව්ස්          43
මාක් චැප්මන් - දුවද්දී දැවී ගියා                        7
ග්ලේන් පිලිප්ස් - නොදැවී                            17
ටොම් ලේතම් - නොදැවී                                 2
අතිරේක                                                        2
එකතුව ඕවර 23.2 කදී කඩුලු 5 ක් දැවී         172

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මිචෙල් සෑන්ට්නර්, ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ ‍‍ලොකී ෆර්ගසන්

කඩුලු වැටීම :
1-86(කොන්වේ), 2-88(රවින්ද්‍ර), 3-130(විලියම්සන්), 4-145(චැප්මන්), 5-162(මිචෙල්)

පන්දු යැවීම :
ඩිල්ෂාන් මධුෂංක 6.2-0-58-0, මහීෂ් තීක්ෂණ 7-0-43-1, ධනංජය ද සිල්වා 2-0-22-0, දුෂ්මන්ත චමීර 4-1-20-1, ඇන්ජලෝ මැතිව්ස් 4-0-29-2


අදහස් (0)

ශ්‍රී ලංකාවට ශූරයන්ගේ තරගාවලියත් අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.