Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් ඉදිරියට
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් ඉදිරියට

editorial - 2023 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
 
නිෂාන් මධුෂ්කගේ අතිවිශිෂ්ට ද්විත්ව ශතකයත් සමගින් කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරින් දෙවැනි ඉනිමේදී තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිව්දින ටෙස්ට් තරගයේදී ලකුණු 249 කින් ඉදිරියට පැමිණ සිටිති. තරගයේ තුන්වැනි දිනය වූ අද (02 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියේය. 
 
පිට පිටම දෙවැනි තරගයේදීත් ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ලකුණු 150 කඩයිම පසුකළ නිෂාන් මධුෂ්ක විනාඩි 562 ක් පුරා කඩුල්ලේ රැඳෙමින් ලයන්ස් පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙමින් සිටියේය. පන්දු 370 කට මුහුණ දුන් මධුෂ්ක හතරේ පහර 24  කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සැරසීය. 
 
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්දින පුහුණු තරගයේදීත් නොදැවී ලකුණු 150 ක් ලබාගත් මධුෂ්ක, එදින පිතිහරඹය අතරමග නවතා ආපසු ක්‍රීඩාගාරයට ගියේ එය පුහුණු තරගයක් වූ බැවිනි. 
 
නිෂාන් මධුෂ්ක (නොදැවී 207) සහ ඕෂධ ප්‍රනාන්දු (114) දෙදෙනාගේ පිතිහරඹයත්, මුරකරු පිතිකරු ලක්ෂිත මානසිංහගේ (73) අලංකාර අර්ධ ශතකයත් නිසා, ලකුණු 331 ක මුල් ඉනිමේ අවාසිය පහසුවෙන්ම මඟහරවා ගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සැනසුම් සුසුම් හෙළමින් දිවා ආහාරයට ගියහ. 
 
දිවා ආහාරයෙන් පසු ලයන්ස් පන්දු යවන්නන්ට රිදෙන්නම පහර දුන් නුවනිඳු ප්‍රනාන්දු (80) සහ නිපුන් ධනංජය (නොදැවී 89) දෙදෙනාම නිෂාන් මධුෂ්ක සමගින් එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වාසිය ලකුණු 249 දක්වා වැඩි කළහ. 
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු අතර සම්බන්ධතා සටහන් වූයේ පිළිවෙලින් ලකුණු 203 ක්, 119 ක්, 113 ක් සහ අඛණ්ඩ ලකුණු 145 ක් වශයෙනි.  
 
පළමු පෙළ ආරම්භක පිතිකරුවකු සතුවිය යුතු සියලුම ගුණාංගවලින් සමන්විත නිෂාන් මධුෂ්ක මනස්කාන්ත පහර රැසකින්ම සිය ඉනිම අලංකාර කළේය. ඔහුගේ පිතිහරඹයේ වඩාත් සිත්ගන්නා අංගය වූයේ ප්‍රතිවාදී නායකයා කොතෙක් උගුල් ඇටවූවද, ඒවායේ නොවැටී, පන්දු රකින්නන් අතර පරතරය තෝරා බේරාගනිමින්, පන්දුව හතරේ සීමාවට යැවීමයි. ලකුණු සංඛ්‍යාව 547 ක්ව තිබියදී, ටොම් ඇබෙල්ගේ පන්දුවකට අලංකාර පුල් පහරකින් සංග්‍රහ කරමින්, මිඩ් විකට් කලාපය හරහා පන්දුව හතරේ සීමාවට යැවූ මධුෂ්ක, සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. 
 
ශ්‍රී ලාංකික පිතිකරුවකු ඒ’ කණ්ඩායමකට එරෙහිව ලබාගත් පස්වැනි ද්විත්ව ශතකය මෙයයි. මලින්ද වර්ණපුර (බංග්ලාදේශ), දිනේෂ් චන්දිමාල් (දකුණු අප්‍රිකානු), දිමුත් කරුණාරත්න (එංගලන්ත ලයන්ස්) සහ පැතුම් නිස්සංක (අයර්ලන්ත) ‘ඒ’ කණ්ඩායම් වලට එරෙහිව ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවෝ වූහ. 2010 දී දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව ලකුණු 244 ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ඔවුන් අතර වැඩිම ලකුණු ලාභියා විය. 
 
මුරකරු පිතිකරුවකු ලෙසින් පැමිණියද ලක්‍ෂිත මානසිංහ පන්දුවට පහර දුන්නේ අංක 3 පිතිකරුවකුට උචිත විලාසයෙනි. දුර්වල පන්දුව දුටු තැන නොපැකිළවම පහර දුන් වමත් පිතිකරුවා, නිෂාන් මධුෂ්ක සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවත්වූ ලකුණු 119 ක සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ පිලට අපහසුවකින් තොරවම මුල් ඉනිමේ අවාසිය මඟහරවා ගත හැකිවිය. පැය දෙකකට මඳක් වැඩිවූ මානසිංහගේ පන්දු 107 ඉනිමට හතරේ පහර 11 ක් සහ අලංකාර හයේ පහර 2 ක් ඇතුළත් විය. 
 
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සතුව තවත් කඩුලු 7 ක් තිබෙන බැවින් ද, තණතීරුව තවමත් පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක තිබෙන බැවින් ද තරගයේ වාසිදායක ලකුණු සංඛ්‍යාවක් කරා යාම ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට අපහසු නොවේ. එහෙත් තීරණාත්මක සාධකය වන්නේ ඒ වෙනුවෙන් මිඩංගු කරනු ලබන කාලයයි. 
 
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම විනාඩි 155 කට සීමාවීම හේතුවෙන් තරගයේ අග්ගිස්සේදී ලයන්ස් පිතිකරුවන්ට විශාල කාලයක් ඉතිරිව තිබේ. එබැවින් හෙට (තරගයේ අවසන් දිනය) දිවා ආහාරය දක්වා වත් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට කඩුල්ලේ රැඳී සිටිය හැකිවුවහොත්, තරගයේ වාසිදායක ස්ථාවරයක් ලබාගත හැකි අවස්ථාවක් නැතුවාම නොවේ.  
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 136 යි
එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම 467 යි
 
ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම 
නිෂාන් මධුෂ්ක - නොදැවී 207
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ලීස් ප.පැටර්සන් 114
ලක්ෂිත මානසිංහ - ඇ.කුක් ප.ඇබෙල් 73
නුවනිඳු ප්‍රනාන්දු - ප.කාසන් 80
නිපුන් ධනංජය - නොදැවී 89
අතිරේක 17
එකතුව - ඕවර 138 කදී කඩුලු 3 ක් දැවී 580
 
කඩුලු වැටීම : 
1-203(ඕෂධ), 2-322(මානසිංහ), 3-435(නුවනිඳු), 
 
පන්දු යැවීම : 
සෑම් කුක් 15-0-79-0
මැතිව් ෆිෂර් 15-3-57-0
ලියාම් පැටර්සන් 42-5-206-1
ජැක් කාසන් 39-6-149-1
ටොම් ඇබෙල් 18-7-41-1
ටොම් හේන්ස් 9-0-35-0

අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.