Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

 

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්‍රෝම්හිදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 119 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු යෞවනයෝ සමත් වූහ. 

එහිදී ලැබූ පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදු විය. මූලික වටයේදී සිම්බාබ්වේ සහ නැමීබියාව පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජය වූ අතර සුපිරි 6 දෙනාගේ වටයේදී ඔවුහු බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේද පරාජයට පත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක්වේනා මපකාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඕවර 23.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8.2 ක් යැවූ මපකා ලකුණු 21 කට කඩුලු 6 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 

ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් එකා පිට එකා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීම සඳහා මපකාට අනගි සහායක් දුන් රිලී නෝටන් නිලකුණු ඕවරයක් සමග ඕවර 5 ක් යවමින් ලකුණු 28 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශාරුජන් ශන්මුගනාතන් පන්දු 32 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්හ. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ රිලී නෝටන් පන්දු 69 කදී නොදැවී ලකුණු 41 ක් රැස්කළේය. හයවැනි කඩුල්ල සඳහා රොමෂාන් පිල්ලේ (27) සමග එක්ව පන්දු 98 කින් ලකුණු 49 ක් එක්කළ නෝටන්, ඉන් නොනැවතී 8 වැනි කඩුල්ල වෙනුවෙන් න්කුබානි මොකොඑනා (නොදැවී 18) සමග එක්ව පන්දු 31 කින් ලකුණු 34 ක්ද එක් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.  

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලුආන්-ඩි්‍ර ප්‍රිටෝරියස් පන්දු 77 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 71 ක් රැස්කළ අතර සෙසු ආරම්භක පිතිකරුවා වූ ස්ටීව් ස්ටොල්ක් පන්දු 17 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් සුපුන් වඩුගේ, මල්ෂ තරුපති සහ විෂ්ව ළහිරු කඩුලු 2 බැගින් දවාගත්හ. 


දකුණු අප්‍රිකානු යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 232 
(ලුආන්-ඩි්‍ර ප්‍රිටෝරියස් 71, ස්ටීව් ස්ටොල්ක් 22, රොමෂාන් පිල්ලේ 27, රිලී නෝටන් නොදැවී 41, න්කුබානි මොකොඑනා නොදැවී 18, සුපුන් වඩුගේ 28/2, මල්ෂ තරුපති 46/2, විෂ්ව ළහිරු 48/2) 

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 113  
(දිනුර කළුපහණ 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ශාරුජන් ශන්මුගනාතන් 29, මල්ෂ තරුපති 21, ක්වේනා මපකා 21/6, රිලී නෝටන් 28/4)


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.