Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා නැඟීඑන පිලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී ලංකා නැඟීඑන පිලට කඩුලු 4 ක ජයක්

editorial - 2019 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන නැඟීඑන කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ ප්‍රිටෝරියාහිදී පැවැති  5 වැනි තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම අද (5 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඕවර 49.1 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

ලකුණු 30 ක් තුළ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දැවීයාම හේතුවෙන් කඩාවැටුණු ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම් ඉනිම නැවත ගොඩනැගීමට චරිත් අසංලක සහ සම්මු අශාන් සමත්වූ. ඔවුන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වූහ.

චරිත් අසලංක පන්දු 84 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 66 ක් සහ සම්මු අශාන් පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 20 ක් තුළ නැවතත් කඩුලු 3 ක් දැවීයාමෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමට අවදානමක් ඇතිවුවද ඉන් මුදවාගනිමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගිය අෂේන් බණ්ඩාර සහ ළහිරු මදුශංක ලකුණු 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

අෂේන් බණ්ඩාර පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් සහ ළහිරු මදුශංක පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වූහ.

බෙයාර්ස් ස්වනීපෝල් සහ ලුක් ෆිලැන්ඩර් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 207 ක් පමණි.

ලකුණු 61 ක් තුළ දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙකුම නැවත ක්‍රීඩාගාරය වෙත යැවීම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. නමුත් 6 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩෙලානෝ පොගීටර් සහ රුබින් හර්මන් ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩෙලානෝ පොගීටර් පන්දු 106 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 97 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් රුබින් හර්මන් පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.

ළහිරු මදුශංක ලකුණු 47 කට කඩුලු 2 ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ අමිල අපෝන්සු කඩුල්ල බැගින් දවාගැනිමට සමත්වුහ.

 

දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්ව විද්‍යාලීය කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 207
(ඩෙලානෝ පොගීටර් නොදැවී 97, රුබින් හර්මන් 45, ළහිරු මදුශංක 47/2)

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - ඕවර 49.1 කදී කඩුලු 6 ක් දැවී 211
(චරිත් අසංලක 66, සම්මු අශාන් 57, අෂේන් බණ්ඩාර නොදැවී 32, ළහිරු මදුශංක නොදැවී 22, බෙයාර්ස් ස්වනීපෝල් 09/3, ලුක් ෆිලැන්ඩර් 33/3)

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟීඑන පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.