Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 ක් අතුරුදන්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 ක් අතුරුදන්

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීම පිණිස ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක්, බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන්, ආගිය අතක් නැති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකු සහ කළමනාකරුවෙකු මෙම පිරිසට අයත් වන බව කියැවේ.

මෙම ක්‍රීඩකයන් සහ නිලධාරියා තමන්ගේ ඉසව් අවසන් කිරීමෙන් පසුව කණ්ඩායම මඟහැර ගොස් සිටින බවද සිය නිර්නාමිකභාවය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිලධාරියා පවසා තිබේ.

ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇයගේ කළමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග පසුගිය සතියේම කණ්ඩායම හැර ගියහ. පසුව තවත් ක්‍රීඩකයකු ඊට එක්වූ අතර ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය වන විට සිව්දෙනෙක් කණ්ඩායම මඟහැර ගොස් තිබිණ. එහෙත් නවතම වාර්තා සනාථ කරන්නේ ජුඩෝ කණ්ඩායමේ කළමණාකරුවාත් සමගින් මේ වන විට 10 දෙනකු පමණ කණ්ඩායම හැරගොස් ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරදන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන් බර්මින්හැම් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

“ඔවුන්ට කිසියම් රැකියාවක් ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියේ රැඳී සිටීමට අවශ්‍ය යැයි අපි සැක කරනවා” යයි ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටු නිලධාරියා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගෙන් යුත් සමන්විත කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ ඇත. එහෙත් කණ්ඩායම හැරගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගමන් බලපත් අතහැර ගොස් ඇතැයි ද කියැවේ.

මේ අතර පළමුවෙන්ම කණ්ඩායම හැරගිය තිදෙනා සොයාගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත් වූවත් ඔවුන් දේශීය නීති රීති උල්ලංඝණය නොකළ නිසාත් මාස හයකට වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන තිබූ නිසාත් කිසිදු පියවරක් නොගත් බව ශ්‍රී ලංකා නිලධාරියා වැඩිදුරටත් පැවසා තිබේ.

“ඇත්ත වශයෙන්ම, අප විසින් රඳවාගන්නා ලද විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දෙන ලෙස පොලිසිය අපට කිව්වා. ඒත් අපේ සාමාජිකයන් සිටින ස්ථානය ගැන පොලිසිය අපට කිසිවක් කිව්වේ නෑ” යයි ද ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටු නිලධාරියා පැවසීය.

ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳ සොයා බලන බවත්, “ඔවුන් ආරක්ෂිතව සහ හොඳින් සිටින බව තහවුරු කරන” බවත් බර්මින්හැම් නගරය ඇතුළත් වන බ්‍රිතාන්‍යයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පොලිස් බලකාය ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන තිබුණි.

ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවලට යන ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගාවලීන් අතරතුරදී අතුරුදන් වූ බවට මීට පෙරද වාර්තා විය. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා තරඟාවලියක් අතරතුර ශ්‍රී ලංකාවේ මල්ලවපොර කළමනාකරු තම කණ්ඩායම අතහැර ගියේය. 2014 වසරේ දකුණු කොරියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු ආ ගිය අතක් සොයාගත නොහැකි විය.

ශ්‍රී ලංකාවට ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායමක්වත් නොතිබූ 2004 දී අවස්ථාවක, ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන් ලෙස පෙනී සිටි 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජර්මනියේ පැවති තරඟාවලියකට ගියහ. එහෙත් ඔව්හු නැවතත් ශ්‍රී ලංකාවට නොපැමිණියහ.

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.