
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා එක්දින පිලේ වර්තමාන නායිකා ශෂිකලා සිරිවර්ධන ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන 34 හැවිරිදි ශෂිකලා, මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 118 කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 77 කට සහභාගි වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ශෂිකලා එක්දින ලකුණු 2029 ක් ද, විස්සයි20 ලකුණු 1079 ක් ද, රැස්කර තිබේ. පිට දඟ පන්දු යවන ඇය කඩුලු 124 ක් ද, විස්සයි20 කඩුලු 70 ක් ද, දවාගැනීමට සමත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ලකුණු 1000 ක් සහ කඩුලු 100 ක් දවාගත් පළමු සහ එකම ක්‍රීඩිකාව ද වන ඇය ආසියානු කාන්තා ක්‍රිකට් පිල ද නියෝජනය කර තිබේ.
ශෂිකලා ‘ලංකාදීප’යට පැවසුවේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව දේශීය ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බවයි.
“ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව නාවික හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව රාජකාරි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.