Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොලිබෝල් සංචිතවල කටයුතු නවතී

වොලිබෝල් සංචිතවල කටයුතු නවතී

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරේදීත් ‘වැට උඩ’ට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ වොලිබෝල් කණ්ඩායම් වල ජාත්‍යන්තර සහභාගිත්වය තවදුරටත් අවිනිශ්චිත වී තිබේ. කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලේ බලපෑමත් සමග ජාතික වොලිබෝල් පුහුණු සංචිතවල සියළු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අතර ප්‍රධානතම දේශීය වොලිබෝල් තරග මාලා හතරක් පැවැත්වීමද අත්හිටුවීමට වොලිබෝල් සම්මේලනය වැඩිදුරටත් තීරණය කර තිබේ.

වත්මන් තත්වය හමුවේ මෙම වසරේදී ජපානයේදී පැවැත්වෙන ආසියානු ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලිය හා චීනයේදී පැවැත්වෙන එහි ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා) තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය දැනටමත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ලංකාදීප යට පැවසුවේ දකුණු ආසියානු කලාපයේ තෙවැනි කොවිඩ් රැල්ලක වේගවත් පැතිරීම හමුවේ මෙම වසරේදීත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වොලිබෝල් තරග සහභාගිත්වය පිළිබඳව නැවැත සිතා බැලීමට සිදුවන බවයි.

“ආසියානු ශූරතා තරගමාලා දෙකට සහභාගිවීමේ අපේක්ෂාවෙන් බොහෝ රටවල් මේ වන විටත් පෙර පුහුණුවීම් පටන් අරන් ඉවරයි. ඒත් දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට දැන් අත්වෙලා තිබෙන තත්ත්වය අනුව පෙර පුහුණුවීම් ආරම්භ කරන්න අපහසුයි”

“හොඳ පුහුණුවක් නැතිව මෙම තරගමාලාවට සහභාගිවීම අපට ප්‍රතිඵලදායක වන්නේ නෑ. ඒ හින්දා මේ තත්ත්වය දිගටම තිබ්බොත් අපට මෙම වසරේදීත් ජාත්‍යන්තර තරග සහභාගිත්වය අත්හරින්න සිදුවෙයි” යයි ඒ.එස්. නාලක මහතා වැඩිදුරටත් පැවසීය. 

වසර 2020 මාර්තු මාසයේ සිට උද්ගත වූ කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිදු ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව උදාවී නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වූ අවසන් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය වන්නේ වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති ‘සාග්’ ක්‍රීඩා උළෙලයි. 

ඉරානයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ (පිරිමි) වොලිබොල් තරගාවලිය සඳහා විදුලිබල කණ්ඩායමද චීනයේදී පැවැත්වෙන එහි කාන්තා තරගාවලිය සඳහා යුද හමුදා කණ්ඩායමද ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටිති. 2019 ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දිනා ගැනීමෙන් ඔවුන් ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් (2020) තරග මාලාව සඳහා සුදුසුකම් ලබාගත්හ. 

කෙසේ වුවත් ජාතික වොලිබෝල් (කාන්තා සහ පිරිමි) සංචිත තෝරා ගැනීමේ අභිප්‍රායෙන් වොලිබෝල් සම්මේලනය මේ මස 14, 15 සහ16 යන දිනවල ගාල්ල තුඩැල්ල ජාතික වොලිබෝල් පියසේදී සූදානම් කර තිබූ තේරීම් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මෙම වසරට නියමිත ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් (කාන්තා හා පිරිමි) තරගාවලිය ඉලක්ක කරමින් වොලිබෝල් සම්මේලනය හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වාගෙන ගිය වෙරළ වොලිබෝල් (කාන්තා හා පිරිමි) පුහුණු සංචිත අත්හිටුවීමටද වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

මෙම වසරට නියමිත ප්‍රධානතම දේශීය වොලිබෝල් තරගමාලා අතර වොලිබෝල් සම්මේලනය පළමුවරට හඳුන්වා දුන් ‘අගමැති’ කුසලාන (වයස 22 න් පහළ) වොලිබෝල් තරගාවලිය පසුගිය මැයි 8 සහ 9 දෙදින ගාල්ල තුඩැල්ලේදී පැවැත්වීමට සූදානම් කර තිබියදී අවසන් මොහොතේදී අත්හිටවනු ලැබීය. ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛතම කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් අටක් බැගින් ආරාධනා ලබා තිබුණි. 

මෙම වසරට නියමිත ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හැරෙන්නට වසර 2019 එම තරගාවලිය පවත්වා අවසන් කිරීමට නොහැකි වූ ආධුනික ක්‍රීඩා සමාජ තරගාවලියද ඉකුත්දා සංචරණ සීමා පැනවීමට ගත් තීරණයත් සමග තවදුරටත් කල් දැමීමට සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වොලිබෝල් තරගාවලියක් වන තරුණ සේවා රූපවාහිනී වොලිබොල් තරගාවලියේ මුලික වටයේ තරග පවත්වා අවසන්වීමත් සමග රට තුළ දැන් උද්ගතව තිබෙන හදිසි තත්වය මත ඉතිරි තරග වට පැවැත්වීමද දින නියමයක් නැතිව කල් දමා තිබේ.

 


අදහස් (0)

වොලිබෝල් සංචිතවල කටයුතු නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.