Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශිෂ්ටතම එක්දින ක්‍රීඩිකාව චමරි

විශිෂ්ටතම එක්දින ක්‍රීඩිකාව චමරි

editorial - 2024 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2023 වසරේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩිකාව වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ගෙවී ගිය වසරක කාලයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ චමරි අතපත්තු, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින් ද ජයග්‍රහණ අත්පත් කරගත්තාය. 

නවසීලන්තයට එරෙහිව පැවැති ද්විපාර්ශ්වික එක්දින අන්තර්ජාතික තරඟාවලියකදී පළමු වතාවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලද්දේ ද චමරි අතපත්තු විසිනි. එම තරගාවලියේදී දක්‍ෂතම ක්‍රීඩිකාව වූ චමරි තරග 3 කින් ලකුණු 248 ක් ලබාගත් අතර ඇය දැවී ගියේ එකම අවස්ථාවකදී පමණි. 
පසුගිය වසරේදී එක්දින තරග 8 කට සහභාගි වූ අතපත්තු ඒවායේදී ලකුණු 415 ක් රැස්කළාය. ඊට ශතක දෙකක් ඇතුළත් විය. 

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති තරගාවලිය ජයගත්තේ චමරි තනි අතින් කළ සටනකිනි. එම තරගාවලියේ පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් ලබාගත් චමරි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළාය. දෙවැනි තරගයේදී ඇය ලකුණු නොලබා දැවී ගිය අතර තරගය දිනාගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ. 

තුන්වැනි තරගයේදී වඩාත් අසීරු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දු 80 කින් ලකුණු 140 ක් ලබාගත් ශ්‍රී ලංකා නායිකාව තරගය අවසන් කර ආපසු ක්‍රීඩාගාරයට පිවිසියේ ඉනිම 3 ක් අවසානයේදී ඉනිමක සාමාන්‍යය ලකුණු 248 ක් ලෙසින් සටහන් කරමිනි. තරගාවලියේ ජය 2-1 ක් ලෙසින ශ්‍රී ලංකාවට හිමිවිය. 

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියකදීත් 1-0 ක ජයක් ලබාගැනීමට චමරිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය. 

මේ වන විට කාන්තා එක්දින අන්තර්ජාතික තරග 98 කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු ලබා ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 3255 කි. ශතක 8 ක්  සහ අර්ධ ශතක 15 ක් ඇතුළත් ඇයගේ එක්දින තරග දිවිය වසර 14 ක් පුරා දිවයන්නකි. 

ශ්‍රී ලංකා නායිකාව විස්සයි-20 අන්තර්ජාතික තරග 122 ටත් ක්‍රීඩා කරමින්, ලකුණු 2651 ක් ලබා සිටින්නියකි. 


අදහස් (0)

විශිෂ්ටතම එක්දින ක්‍රීඩිකාව චමරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.