Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ස්ටාපන් පිට පිටම තෙවැනි ජය ලබයි

වර්ස්ටාපන් පිට පිටම තෙවැනි ජය ලබයි

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔස්ට්‍රියාවේ ස්පීල්බර්ග්හි රෙඩ්බුල් ධාවන පථයේදී ඉකුත් ඉරිදා (4 වැනිදා) පැවැති ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගය ජයගනිමින් මෙවර තරග වාරයේදී පිට පිටම ලැබූ තෙවැනි ෆෝමියුලා-I ජයග්‍රහණයට හිමිකම් කීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටාපන් සමත් විය. මෙම වසර (2021) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ නමවැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී වර්ස්ටාපන් ලැබූ පස්වැනි ජයග්‍රහණයද මෙය විය.

වට 71 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා වර්ස්ටාපන්ට පැය 1 යි, විනාඩි 23 යි, තත්පර 54.543 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 26 ක් ලබාගත් වර්ස්ටාපන්, මුලු ලකුණු 182 ක් ලබා තවදුරටත් රියදුරන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ රැකගැනීමටද සමත් විය. සුදුසුකම් ලැබීමේ අදියරේදී එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 03.720 ක අවම කාලයක් වාර්තා කළ වර්ස්ටාපන්, තරගය තුළදී වටයක් නිමා කිරීම සඳහා ගත කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 06.200 කි.

වර්ස්ටාපන් වඩා තත්ත්පර 17.973 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස් සහ තත්ත්පර 20.019 ක් පසුපසින් තරගය නිමා කළ මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. වර්ස්ටාපන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සිව්වැනියා ලෙස තරගය නිමා කළේ වර්ස්ටාපන්ට වඩා තත්ත්පර 46.452 ක් පසුපසින් සිටිමිනි.

මෙම තරගයේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුවද, මෙතෙක් පැවැති තරග 9 දී මුලු ලකුණු 150 ක් ලබා සිටින හැමිල්ටන් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. ඒ අනුව ඔහු, වර්ස්ටාපන්ට වඩා තවත් ලකුණු 36 ක් පසුපසින් සිටියි. ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ වර්ස්ටාපන්ගේ රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ සගයා වන සර්ගියෝ පෙරේස්ටය. මේ වන විට ලකුණු පෙරේස් මුලු ලකුණු 104 ක් ලබා සිටියි.

ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් බොටාස්ට ලකුණු 18 ක් හිමිවූ අතර මේ වන විට මුලු ලකුණු 92 ක් ලබා සිටින ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ රැදී සිටියි. එම තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් නොරිස් එහිදී ලැබූ ලකුණු 15 ත් සමග මුලු ලකුණු 101 කට හිමිකම් කියන අතර ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවේ.

වර්ස්ටාපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම මේ වන විට ලකුණු 286 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 242 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 141 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මෙම තරගයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගය ජූලි 18 වැනිදාද, හංගේරියානු ගෝන් ප්‍රී තරගය සහ බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය අගෝස්තු මස 1 වැනිදා සහ 29 වැනිදාද පැවැත්වෙන අතර නෙදර්ලන්ත, ඉතාලි සහ රුසියානු ගෝන් ප්‍රී තරග පිළිවෙලින් සැප්තැම්බර් මස 5, 12 සහ 26 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

තරග ප්‍රතිඵල
1 මැක්ස් වර්ස්ටාපන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:23:54.543  
2 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:24:12.516   
3 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - පැය 1:24:14.562    
4 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:24:40.995  
5 කාර්ලෝස් සේන්ස් (ෆෙරාරි) - පැය 1:24:51.687   
6 සර්ගියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:24:52.458   
7 ඩැනියෙල් රිකාඩෝ (මැක්ලරන් මර්සිඩීස්) - පැය 1:24:54.938  
8 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - පැය 1:24:55.738   
9 පෙයිරි ගැස්ලි (ඇල්ෆාටෝරි හොණ්ඩා) - පැය 1:24:56.387  
10 ෆර්නෑන්ඩෝ අල්පොන්සෝ (ඇල්ෆා රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්

-036


අදහස් (0)

වර්ස්ටාපන් පිට පිටම තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.